- බාලචන්ද්‍රන් ඥානසේකරෙයර් මහතා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ දේශීය භාෂා සම්බන්ධයෙන් සිදුවූ ප්‍රධාන වර්ධනයන් සඳහා බාලචන්ද්‍රන් ඥානසේකරෙයර් මහතා විශාල දායකත්වයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) උපදේශකයෙකු ලෙස ඔහු 2006 දී දෙමළ යතුරුපුවරුව ප්‍රමිතිගත කිරීමේ කටයුතු ආරම්භ කළේය. දෙමළ යතුරුපුවරුවේ පිරිසැලැස්ම, යතුරුවල අනුක්‍රමය, යුනිකෝඩ් ප්‍රමිතියට අනුකූලව දෙමළ අක්ෂර කේතනය කිරීම සහ දෙමළ සඳහා පරිතුලන අනුක්රමයක් ඇතුළත් දෙමළ භාෂාව සඳහා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම සඳහා ඔහු කටයුතු කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යෝජනා කරන ලද කෙටුම්පත් ප්‍රමිතියට මේවා ඇතුළත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලංප්‍ර 1326: 2008 නම් දෙමළ භාෂාව පිළිබඳ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය සම්මත විය.
බාලචන්ද්‍රන් මහතා පසුව සයිබර් ආරක්ෂණ ක්ෂේත්රයට අවතීර්ණ විය. ඔහු සහතික ළත් සදාචාරාත්මක අපහාරකවරයෙකු මෙන්ම සහතික ළත් පරිගණක අපහරණ වෝහාරික පරීක්ෂකයෙක් ද වේ. බාලචන්ද්‍රන් මහතා බැංකු ක්ෂේත්රය සඳහාවු පරිගණක ආරක්ෂා සිද්ධි ප්‍රතිචාර කණ්ඩායමේ (CSIRT) පළමු සේවකයා විය. ඔහු මේ වන විට ඩයලොග් ඇක්සියාටා සමාගමේ සයිබර් ආරක්ෂණ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
බාලචන්ද්‍රන් මහතා ඕස්ට්‍රේලියාවේ චාල්ස් ස්ටර්ට් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණවේදී උපාධියක් ලබා ගෙන ඇත.. දෙමළ භාෂාව කෙරෙහි ඇති උනන්දුව නිසා ඔහු ශාස්ත්‍රපති උපාධියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සහ භාෂාවේ අංග ඇතුළත් ක්ෂේත්රයක් තෝරා ගත්තේය. ඔහුගේ උපාධිය සඳහා කරන ලද පර්යේෂණයේ අඩංගු වූයේ දෙමළ භාෂාවෙන් ඇති නම් සිංහල භාෂාවට අක්ෂරාන්තරණය සඳහා වූ යෝජනාවකි.
- දිනිෂා එදිරිවීර මහත්මිය
දීනිෂා එදිරිවීර මහත්මිය වර්තමානයේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) ජ්‍යෙෂ්ඨ පද්ධති ඉන්ජිනේරුවෙක් වේ. ඇය ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදි (B.Sc.) හා විද්‍යාපති (M.Sc.) උපාධි හිමි කරගෙන ඇත. ඇය ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ (IESL) සමායන සාමාජිකාවක් මෙන් ම ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සමායන සාමාජිකාවක් ද වේ.
එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ දී එදිරිවීර මහත්මිය, වර්ගීකෘත දැන්වීම් පද්ධතියට හා ඩිජිටල් දැන්වීම් පද්ධතිය සඳහා මෘදුකාංග සැලසුම් කර සංවර්ධනය කළාය. මෙයට අමතරව වර්ගීකෘත දැන්වීම් පද්ධතිය සඳහා සිංහල පරිතුලන (Collation) ඇල්ගොරිතමය ද, සංස්කරණ පද්ධතිය සඳහා සිංහල යා-ඉර යෙදුම් (Hyphenation) මොඩියුලය හා යුනිකෝඩ් නොවන පාඨ, යුනිකෝඩ්, හිමිකාර හා විවෘත පද්ධතිවලට පරිවර්තනය කිරීමේ මෘදුකාංග ද ඇය නිර්මාණය කර තිබේ. අනුර තිසේරා මහතාගේ මග පෙන්වීම යටතේ ඇය “දිනමිණ” නම් යුනිකෝඩ් ෆොන්ටය සඳහා රීති ද සකස් කළාය. පසුව මෙම ෆොන්ටය නොමිලේ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) භාර දෙන ලදී.
පසුගිය අවුරුදු 8ක් පමණ තිස්සේ දිනිෂා එදිරිවීර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ (LLWG) සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ. මෙම ආයතනයේ යුනිකෝඩ් අනුකූල සිංහල ෆොන්ටය වන “භාෂිත” සඳහා රීති ඇය සකස් කළ අතර එය නිමා කරණ ලද්දේ පේමසිරි මහතා විසින් සැලසුම් කල සංකේත යොදා ගෙනයි. මෙම ෆොන්ටය “භාෂිත” ලෙස නම් කරන ලද්දේ එදිරිවීර මහත්මියගේ යෝජනාවක් අනුවයි. “භාෂිත” නම් මෙම සෞන්දර්යාත්මක ව නිවැරදි සිංහල ෆොන්ටය මට්ටම් තුනකින් වන අතර ඒ සෑම මට්ටමක ම එය ෆොන්ට පවුලක් වේ (serif & sans serif with bold and regular). මොසිල්ලා ෆයර්ෆොක්ස් (Mozilla Firefox) මෙය ඉල්ලා සිටි අතර එහි ලුහු අනුවාදයක් වන භාෂිතස්ක්රීන් (BhashithaScreen) ඔවුන්ට ලබා දුන්නේය. කුඩා දරුවන්ගේ ඉගැන්වීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවර්ධනය කළ “හෝඩිපොත” නම් ෆොන්ටය සඳහා ෆොන්ට රීති සකස් කළේ ද ඇයයි.
සිංහල වචනවල මූලයන්හි හා ව්‍යාකරණයේ පුදුමාකාර ව්‍යුහයක් ඇතැයි ප්‍රකාශ කළ ඇය මෙම ව්‍යුහයන් විශ්ලේෂණය කර දේශීයකරණ මෘදුකාංග සඳහා ලබා දීමට අපේක්ෂා කරයි.
- හර්ෂ විජයවර්ධන මහතා
හර්ෂ විජයවර්ධන මහතා තීක්ෂණ ආයතනයේ (කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් පාලනය වන සමාගමකි) ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මෙන් ම ශ්‍රී ලංකාවේ සියල්ල ඇතුළත් අන්තර්ජාලය (IOT) පිළිබඳ ආරම්භක සමාගමක අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ද වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විජයවර්ධන මහතාට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රයේ අවුරුදු 25කට වැඩි අත්දැකීම් තිබේ. විජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ අධිසාමාක සාමාජිකයෙකි (Fellow Member). කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ (UCSC) මෘදුකාංග සංවර්ධන ඒකකය (SDU) පිහිටුවීමට ද ඔහු සම්බන්ධ විය. ඔහු සහ මෙම ඒකකයේ ඔහුගේ කණ්ඩායම ශ්‍රී ලංකා රජයේ කටයුතුවලට අවශ්‍ය මෘදුකාංග නිපදවීමෙහි ලා අඛණ්ඩ සේවයක් ලබා දෙති.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හා ඉ-රාජ්‍ය කටයුතු වෙනුවෙන් ද විජයවර්ධන මහතා විශාල දායකත්වයක් සපයා තිබේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) අන්තර්ජාල කමිටුවේ සාමාජිකයෙක් වූ විජයවර්ධන මහතා සිංහල යුනිකෝඩ් ක්‍රියාත්මක කිරීමට ද ආරම්භයේ පටන් ම දායක විය. සිංහල යුනිකෝඩ් වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඔහුගේ විද්‍යාගාරයෙහි සිංහල යුනිකෝඩ් ෆොන්ට නිපදවා තිබේ. ශ්‍රී ලංකා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතාතනයේ (ICTA) දේශිය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ සමාජිකයෙක් වන විජයවර්ධන මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශ කමිටුවේ සාමාජිකයෙක්ද වේ. අන්තර්ජාල සමාජයේ දේශීය ශාඛාවේ ආරම්භක සභාපති වූයේ ද විජයවර්ධන මහතායි. LK වසම් අධිකාරියේ (LK Domain Registry) ආරම්භයේ සිට ම ඔහු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් විය. 2015 පැවැත්වූ ශ්‍රී ලංකාව වාණිජ අන්තර්ජාලයට සම්බන්ධ වීමේ 20වන සංවත්සරයේ දි ශ්‍රී ලංකා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, LK වසම් අධිකාරිය හා අන්තර්ජාල සමාජය විසින් ඔහු අන්තර්ජාල පුරෝගාමියෙක් ලෙස පිළිගන්නා ලදී.
- පුෂ්පානන්ද ඒකනායක මහතා
පුෂ්පානන්ද ඒකනායක මහතා විවිධ හැඩයෙන් යුත් සිංහල අකුරු නිර්මාණය කිරීමේ නිරත වූයේ කුඩා කාලයේ සිටයි. ඒකනායක මහතා විසින් නිර්මාණය කරන ලද පළමු සිංහල ෆොන්ටය වූයේ ‘මලිති’ නමින් හැඳින්වූ සිංහල අක්ෂර මාලාවයි. 1998 දී ඒකනායක මහතා විසින් නිර්මාණය කළ කරන ලද ෆොන්ට 10 ක් නිකුත් කළ නමුත් මේවාට පෙළ අකුරු සඳහා යොදා ගත හැකි අකුරු වර්ගයක් ඇතුළත් නොවීය. පෙළ අකුරු සඳහා වූ ෆොන්ටයක අවශ්‍යතාවක් තිබූ අතර ඒකනායක මහතා විසින් ඒ සඳහා ඉතා ජනප්‍රිය සිංහල ඇස්කී ෆොන්ටයක් වූ ‘එෆ්එම් අභය’ අකුරු නිර්මාණය කරන ලදී. ඉන් පසුව විවිධ අරමුණු සඳහා වූ විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම ද අවශ්‍ය වූයේ ය. ඔහු විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු 12 ක් සැලසුම් කර වැඩි දියුණු කළේ එම අවශ්‍යතාව සපුරාලීමටයි.
ඒකනායක මහතා පසුව ජාත්‍යන්තර ආකේතකරණ යුනිකෝඩ් සම්මතයට අනුකූලව ෆොන්ට නිර්මාණය කළේ ය. ඔහු විසින් නිර්මාණය කරන ලද එවැනි එක් ෆොන්ටයක් වූයේ ප්‍රධාන වශයෙන් වෙබ් අඩවි වල භාවිතය සඳහා නිර්මාණය කළ ‘මලිතිවෙබ්’ නම් සරල ෆොන්ටයයි. ඒකනායක මහතා මෙම ෆොන්ටය තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයට ලබා දුන්නේ පරිශීලකයින්ට නොමිලේ ලබා දීමටයි. පසුව ඒකනායක මහතා විසින් “ෆොන්ට්මාස්ටර්” සමාගම පිහිටුවන ලද අතර එමඟින් ඔහු සිංහල ෆොන්ට සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කළේය. ඒකනායක මහතා පැහැදිලි කරන්නේ සිංහල භාෂාවට පූර්ණ සහය නො දක්වන ප්‍රකාශන මෘදුකාංග, යුනිකෝඩ් ප්‍රමිතිය අනුගමනය කිරීමට බාධාවක් වී ඇති බවයි.
- රොහාන් මානමුදලි මහතා
රොහාන් මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතා සමඟ 1994 දී සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් (පුද්) සමාගම ආරම්භ කරන ලද අතර එය දේශීය භාෂා පරිගණකකරණය සඳහාම කැප වූ සමාගමක් විය. ශ්‍රී ලංකාවේ දේශීය භාෂා පරිගණකකරණයට විශාල බලපෑමක් කළ ත්‍රිභාෂා වචන සකසනය වන ‘තිබස්’ පැකජයේ සම-සංවර්ධකයින් වූයේ මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතායි. මෙය ඉංග්‍රීසි බස නො දැනීම නිසා බොහෝ දෙනෙක් පරිගණක භාවිතා කිරීමට මැලි වූ කාලයක් විය. ශ්‍රී ලංකාවේ ජනයාට පරිගණක භාවිතා කිරීමට විශාල බාධාවක් වූයේ භාෂාවයි. ‘තිබස්’ මෙම හිඩැස පිරවූ අතර මේ නිසා සිංහල පමණක් දත් අයට පද සකසන භාවිතා කිරීමට හැකි වූයේය. රොහාන් මානමුදාලි මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.
රොහාන් මානමුදලි පරිගණක ලෝකයට අවතීර්ණ වීම ලෙස සැලකිය හැක්කේ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ පාසල් සිසුවෙකු ලෙස සිටි කාලයේ සින්ක්ලෙයාර් පරිගණකයක් දකින්නට ලැබීමයි. 1987 දී විශ්ව විද්‍යාල වසා දැමූ බැවින් රොහාන්ට නියමිත පරිදි එම වසරේ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට නොහැකි විය. මේ කාලයේ රොහාන් මානමුදලි තම මිතුරන්වන ධම්මික විජේරත්න, සම්පත් ගොඩමුන්න සහ පසුව විපුල ජයම්පතී සමග පොත් වලින් ඉගෙන ගනිමින් පරිගණකයක් එකලස් කර සිංහල භාෂාවෙන් පරිගණකයේ වැඩ කිරීමට උත්සාහ කළෝය.
වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය තුළ ක්‍රියාත්මක කළ හැකි යතුරුපුවරු ධාවකයක් හා සිංහල සහ දෙමළ ෆොන්ට කිහිපයක් 1995 දී සයන්ස් ලෑන්ඩ් සමාගම විසින් එළි දක්වන ලදී. 1997 දී ඔවුන් සිංහල අකුරු නිදොස්කුරුවක් සහ තේරීමේ පද්ධතියක් ඉදිරිපත් කළෝය. රොහාන් මානමුදලි මහතා ප්‍රකාශ කළේ පළමු සිංහල විද්‍යුත් ශබ්ද කෝෂය ලෙස සැලකිය හැකි “තිබස් පද පරිවර්තකය” ඔවුන් 2000 වර්ෂයේදී නිකුත් කළ බවයි. මේ අතර දේශීය වෙළඳපොල සඳහා සිංහල මෘදුකාංග සංවර්ධනය කිරීමේද ඔවුන් නිරත විය. 2006/2007 දී මෙම කණ්ඩායම ජංගම උපාංග සඳහා සිංහල කෙටි පණිවුඩ මෘදුකාංගයක්ද, ජංගම දුරකථන සඳහා සිංහල / දෙමළ ශබ්දකෝෂ මෘදුකාංගයක්ද නිර්මාණය කළේය.
2005 දී ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යුනිකෝඩ් ජාත්‍යන්තර ප්‍රමිතිය පිළිපැදීම ප්‍රවර්ධනය කරමින් සිටියේය. මේ අනුව ඔවුන්ගේ ‘තිබස්’ පැකේජය යුනිකෝඩ් අනුකූල මෘදුකාංගයක් බවට පරිවර්තනය කරන ලදී.
සයන්ස් ලෑන්ඩ් සමාගම විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි සය ආකාර අක්ෂර පරිවර්තන පද්ධතියක් ද සකස් කරන ලදී. වින්ඩෝස් විස්ටා සහ මයික්‍රොසොෆට් ඔෆිස් 2007 හි පරිශීලක අතුරුමුහුණත් දේශීයකරණය කිරීම සඳහාත්, පසුව වින්ඩෝස් 7 සහ මයික්‍රොසොෆට් ඔෆිස් 2010 හි පරිශීලක අතුරුමුහුණත් දේශීයකරණය කිරීම සඳහාත් සයන්ස් ලෑන්ඩ් සමාගම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ තවත් ගිවිසුමක් අත්සන් කළේය. මෙය ක්‍රියාත්මක වූයේ සයනස් ලෑන්ඩ් සමාගම හා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ (UCSC) හවුල් ව්‍යාපෘතියක් ලෙසයි. මෙයට අමතරව, සයන්ස් ලෑන්ඩ් සමාගම විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා මූල්‍ය කළමනාකරණ හා වාර්තාකරණ පද්ධතියක් ද සකස් කරන ලදී.
- ආචාර්ය රුවන් වීරසිංහ
ආචාර්ය රුවන් වීරසිංහ, ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ මුල් උපාධිය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. ඔහු තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යා ක්ෂේත්රයට අවතීර්ණ වූයේ එක්සත් රාජධානියේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නියැලී සිටිය දීයි. එතැන් සිට රුවන් වීරසිංහ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විවිධ අංශවලට සම්බන්ධ වී කටයුතු කර තිබේ. ආරම්භයේ දි ඔහු නිරත වූයේ සුළු පරිමාණ ව්‍යාපෘති හා රාජ්‍ය අංශයේ ආයතනවල ශක්‍යතා අධ්‍යයනවලයි.
රුවන් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දීමට කටයුතු කළ පුරෝගාමී ආයතනවලට සම්බන්ධව කටයුතු කළේය. මෙම ආයතන වන්නේ ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) හා 2003 වන තෙක් මෙම (ICT) ක්ෂේත්රයේ ප්‍රම්‍රඛ ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) අන්තර්ජාල කමිටුවයි. දියුණු වන රටවල ජාල තාක්ෂණ විශේෂඥයින් පුහුණු කිරීමේ නියැලුණු අන්තර්ජාල සමාජයේ ශික්ෂකයෙක් ලෙස ද 1996 සිට 2000 දක්වා ඔහු ක්‍රියා කර තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක කළ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහනෙහි විවිධ අංශවල ද ඔහු කටයුතු කර ඇත. ආචාර්ය රුවන් වීරසිංහ මෙම (ICTA) ආයතනයේ දේශීය භාෂා කණ්ඩායමේ (LLWG) ඉතා ක්‍රියාකාරි සාමාජිකයෙක් විය.
ශාස්ත්‍රඥයෙක් ලෙස ඔහු විවිධ පසුබිම් සහිත ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණයේ හා පරිගණක විද්‍යාවේ සියලු ම අංශ උගන්වා තිබේ. ඔහු පර්යේෂණ කර ඇත්තේ විශේෂයෙන්ම සංඛ්‍යාන හා ලේඛන සංග්‍රහ පදනම් වූ ප්‍රවේශ හා යාන්ත්‍රික පරිවර්තනය ඇතුළු පරිගණකවල මානව භාෂා පිරිසැකසුම් කිරීමේ විවිධ අංශ ගැනයි.
- එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්)
එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්) පසුගිය වසර 19 ක් තිස්සේ මෘදුකාංග කර්මාන්තයේ නියැලී සිටින ප්‍රවීණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකි. ජංගම දුරකථන තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු පසුගිය දශකය තුළම අවධානය යොමු කර ඇත්තේ එයටයි. ඇන්ඩ්‍රොයිඩ්, අයිඕඑස් .නෙට්, ජාවා සහ මිඩ්ල්වෙයාර් ආදියේ නිපුණතාව ඇති ඔහුට විදුලි සංදේශ මෘදුකාංග සංවර්ධනය පිළිබඳ මනා දැනුමක් තිබේ. ඉන්දියාවේ ට්‍රිචි හි භාරතීදාසන් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලබා ඇති ඔහු දැනට “එම්බ්‍රේන් ටෙක්නොලොජීස් (mBrain Technologies) සමාගමේ ප්‍රධාන විධායක සහ ප්‍රධාන නිර්මාණ ශිල්පියාද වේ.
ෂාන් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දේශිය භාෂා යොදා ගැනීම පිළිබඳ බාහිර උපදේශකයෙකු විය. වින්ඩෝස් සඳහා යතුරුපුවරු ධාවක සංවර්ධනය කිරීමට ඔහු දායක වූ අතර එමගින් සිංහල භාෂාව සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය වන ශ්‍රීලංප්‍ර 1134: 2004 සහ දෙමළ භාෂාව සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය වන ශ්‍රීලංප්‍ර 1326: 2008 ට අනුව යතුරු ලියනය කිරීමට හැකි විය. ප්‍රමිතීන්ට අනුකූලව සිංහල හා දෙමළ භාෂාවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමට බොහෝ පරිශිලකයන්ට හැකියාව ලබාදුන් මෙම මෘදුකාංග ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වූයේය. මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයේ බාහිර උපදේශකයෙකු ලෙස ද ෂාන් කටයුතු කර ඇත. 2010/2011 දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුවේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හරහා ෂාන් එම්බිලියන්ත් (mBillionth) සම්මාන මහා ජූරියේ ද සේවය කර තිබේ. 1998 දී ඔහු සම්බන්ධ වූ මයික්‍රොඉමේජ් ආයතනයේදී, සිංහල යතුරු ලියනය කිරීම සඳහා යතුරුපුවරු ධාවක සංවර්ධනය කිරීමට ෂාන් දායක විය.
- එස්.ටී. නන්දසාර මහතා
එස්.ටී. නන්දසාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් කථිකාචාර්යවරයෙක් මෙන්ම එහි උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ද වේ. නන්දසාර මහතා 1979 දී ප්‍රථම උපාධිය ලබා ගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. 1989 සිට එක්සත් රාජධානියේ රෙඩින් හා එසෙක්ස් විශ්ව විද්‍යාලවල සංඛ්‍යානය, පරිගණක යෙදුම් හා පරිගණක විද්‍යාව පිළිබඳ ඔහු තුන් අවුරුදු පශ්චාත් උපාධි පුහුණුවක් ලැබුවේය. බ්‍රිතාන්‍ය රජයේ කාර්මික සහයෝගිතා වැඩසටහනක් යටතේ ඔහු “පරිගණක යෙදුම් හා සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව” පිළිබඳ පාඨමාලාවක් ද හැදෑරුවේය.
නන්දසාර මහතාගේ වෘත්තිය ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වූයේ 1982 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිරිසැකසුමට කොළඹ විශ්ව විද්‍යාලය සමග මැතිවරණ කොමසාරිස්ට සහාය වීමයි. පළමු වරට පරිගණක ආධාරයෙන් සජීවී ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම හා පරිගණක ආධාරයෙන් සජීවී ලෙස 1982 ජාතික ජනමත විමසුමේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතුවල දී නන්දසාර මහතා ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය.
දේශීය භාෂා පරිගණන ක්ෂේත්රයටද නන්දසාර මහතා විශාල දායකත්වයක් සපයා තිබේ. ත්‍රි-භාෂා පද සකසනයක් වූ “වදන් තරුව” ඔහු නිර්මාණය කළ අතර 1994 දී වෙන්චුරා පබ්ලිෂර් සඳහා ත්‍රි-භාෂා සහාය සහිත “අත්වැල” නම් වර්ණයෝජක මෘදුකාංගය එලි දැක්වූයේය. කලින් මේ අංශයේ ඉහළ ම රජයේ ආයතනය වූ ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) පරිගණකවල සිංහල හා දෙමළ අක්ෂර භාවිතය සඳහා ප්‍රමිති නිර්දේශ කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙක් ලෙස ද නන්දසාර මහතා කටයුතු කර තිබේ. 1997 දී ග්‍රීසියේ ක්‍රීට් නගරයේ පැවති යුනිකෝඩ් කොන්සෝටියමේ තීරණාත්මක රැස්වීමට ද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය. මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කළ සිංහල ආකේතන යෝජනාව තියුණු සාකච්ඡාවකින් පසු සුළු සංශෝධන සහිත ව අනුමත කරන ලදී.
නන්දසාර මහතා ආයතනික සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහාචාර්ය වි.කේ. සමරනායක මහතාට සහාය වූයේය. කොළඹ විශ්ව විද්‍යාලය යටතේ පරිගණක තාක්ෂණ ආයතනය පිහිටුවීමට ඔහු සම්බන්ධ විය. මේ කටයුතු සඳහා 1988 සිට 1990 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් දූත මණ්ඩලවලට අවශ්‍ය සහාය ඔහු ලබා දුන්නේය. උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ද සම්බන්ධ වූ නන්දසාර මහතා එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි. පරිගණක තාක්ෂණ ආයතනය හා විද්‍යා පීඨය යටතේ තිබූ පරිගණක විද්‍යා අංශය එක් කරමින් ස්ථාපිත කළ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය (UCSC) පිහිටුවීමට ද ඔහු සම්බන්ධ විය. 2017 වර්ෂයේ දී මෙම අධ්‍යයනායතනය පරිගණනයේ 50 වසරක් සැමරුවේ මහාචාර්ය වී.කේ. සමරනායක මහතාට බුහුමන් පුද කරමිනි.
top - දිනිෂා එදිරිවීර මහත්මිය