චන්දන වීරසිංහ මහතා ඩී.එම්.එස්. ඉලෙක්ට්‍රොනික්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂ/ සාමාන්‍යාධිකාරීවරයායි. ඔහු නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චන්දන පළමු වරට පරිගණක පද්ධති හා සම්බන්ධ වූයේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙතු ලෙස සිටියදීය. ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමට ඔහු සමත් විය. උපාධිය ලැබීමෙන් පසු චන්දන 1984 දී දත්ත කළමනාකරණ පද්ධති (DMS) සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස සම්බන්ධ විය. ඉන් අනතුරුව චන්දනා වීරසිංහ මහතා එවකට එම (DMS) සමාගම විසින් අලෙවි කරන ලද වැන්ග් කුඩා පරිගණක පද්ධති සඳහා සහාය ලබා දීමේ නිරත විය.
චන්දන වීරසිංහ මහතා නායකත්වය දුන් වැදගත් ව්‍යාපෘතියක් වූයේ සිංහල සහ දෙමළ භාෂා වැන්ග් පරිගණක පද්ධතිවලට හඳුන්වා දීමයි. පරිගණක කටයුතු සිංහල හා දෙමළ භාෂාවෙන් කිරීමට මේ අවස්ථාවේ ඉල්ලුමක් තිබුණි. ඉංග්‍රීසි භාෂාවට අමතරව පරිගණකවලට වෙනත් භාෂා ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටි වැන්ග් ගෝලීය (Wang global) කණ්ඩායම සමග චන්දන සහ ඔහුගේ කණ්ඩායම සම්බන්ධ විය. මෙම ව්‍යායාමය ප්‍රධාන වශයෙන් පද සැකසීම සඳහා විය. මෙම පැකේජයේ සියලු කටයුතු නිමා කර එය දියත් කිරීමට නියමිතව තිබූ නමුත් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් නිසා ඒ කටයුතු නතර කිරීමට සිදු වූයේය. වසරකට පමණ පසු මෙය අධිකරණයෙන් බැහැරව විසඳා ගන්නා ලදී. පසුව (DMS) සමාගම පුද්ගලික පරිගණක සඳහා දේශිය භාෂා මෘදුකාංග දියුණු කරන ලද අතර “මව්බිම” නම් සිංහල පැකේජයක් හා “තයිමෝලි නම් දෙමළ භාෂා පැකේජයක් හඳුන්වා දෙන ලදී.
චන්දන වීරසිංහ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළේය. මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය පිහිටුවීම සඳහා ක්‍රියා කළ කමිටුවේ ද ඔහු සමාජිකයෙක් විය. තොරතුරු තාක්ෂණ පීඨයේ බාහිර පීඨ මණ්ඩලයේ සාමාජිකයෙකු වූ වීරසිංහ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළේය.
1990 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා පරිගණක සංගමයට (CSSL) බැදුණු චන්දන වීරසිංහ මහතා එම සංගමයේ අධිසාමාජිකයෙකි. ඔහු එම සංගමයේ උප සභාපති ලෙසත්, ලේකම් හා ශිෂ්‍ය උපදේශක ලෙසත් 2003 වර්ෂයේදී සභාපති ලෙසත් සේවය කර තිබේ.
2003 දී ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන දියත් කළ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ආරම්භ කරන ලදී. චන්දනා වීරසිංහ මහතා ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) නිල සාමාජිකයෙක් ලෙස එම ආයතනය අවසන් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වූ අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පිහිටුවීම පිළිබඳ රැස්වීම්වලට ද සහභාගී විය.
චන්දන වීරසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) තොරතුරු තාක්ෂණ පිළිබඳ කමිටුවේ සාමාජිකයෙක් ද විය. මෙම කමිටුව දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්රමිතීන් පිළියෙල කිරීම සම්බන්ධයෙන් කටයුතු කළේය. කර්මාන්තයේ ප්‍රමිතිවල වැදගත්කම වීරසිංහ මහතා අවධාරණය කරයි. අවසාන වශයෙන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව බොහෝ දුරක් ගමන් කර ඇති බවයි.
කෙටි වීඩියෝව
සම්පූර්ණ වීඩියෝව
චන්දන වීරසිංහ මහතා 1979 සිට 1983 දක්වා කාලය තුළ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂයෙකු විය. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙන් (UoM) ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත්තේය. පරිගණක පද්ධතිවලට ඔහු ප්‍රථම වරට නිරාවරණය වූයේ මෙහිදීය. එහි IBM 1130 යන්ත්‍රයක් තිබුණි. චන්දනා වීරසිංහ මහතා උපාධි අපේක්ෂකයෙකු ලෙස සිදුරුපත් යන්ත්‍රයක් භාවිතා කරමින් ෆෝට්‍රාන් ක්‍රමලේඛනය (FORTRAN programming) සිදු කළ අතර ක්‍රමලේඛ සිදුරුපත්වලට ඇතුල් කර අපේක්ෂා සහගතව ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියේය. පරිගණක භාවිතය මේ වන විට ශ්‍රී ලංකාවේ නැගී එන ක්ෂේත්රයක් වූ අතර ඔහු පරිගණක කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතු වූයේ මෙම ආරම්භක අත්දැකීමයි.
පරිගණනය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගැනීමට මේ වන විට ක්‍රමයක් නොතිබුණි, නමුත් චන්දනට හැදෑරිය හැකි, පරිගණනයට ආසන්නතම ක්ෂේත්රය වූයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාවයි. මෙම කාල පරිච්ඡේදය තුළ මහාචාර්ය අභය ඉඳුරුව මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුක්ව පිහිටුවීමේ කටයුතු කරමින් සිටියේය. චන්දන උපාධිය ලැබීමෙන් පසු මහාචාර්ය ඉඳුරුව, චන්දනට මෙම පීඨයට බැඳෙන ලෙස ආරාධනා කළ නමුත් චන්දන කර්මාන්ත අංශයට යෑමට තීරණය කළේය.
චන්දනා උපාධි අපේක්ෂකයෙකු වූ කාලයේ මොරටුව විශ්ව විද්‍යාලයේ දේශන පැවැත්වීමට දත්ත කළමනාකරණ පද්ධති (DMS) සමාගමෙන් කථිකාචාර්යවරුන් පැමිණියේය. පසුව මෙම සමාගම ඉංජිනේරුවන් කැඳවා දැන්වීමක් පළ කළ තළ අතර එයට ඉල්ලුම් කළ චන්දන 1984 දී දත්ත කළමනාකරණ පද්ධති (DMS) සමාගමේ ඉංජිනේරුවරයෙකු ලෙස තෝරා ගන්නා ලදී. ඉන් අනතුරුව චන්දනා වීරසිංහ මහතා මෙම සමාගම විසින් අලෙවි කළ වැන්ග් කුඩා පරිගණක පද්ධති (Wang minicomputer systems) සඳහා සහාය දැක්වීමට සම්බන්ධ විය. මේ කාලයේම වැන්ග් සමාගම ඔවුන්ගේ පුද්ගලික පරිගණක පරාසය එළි දැක්වූයේය. මේ කාලයේම අයිබීඑම් සමාගමද ඔවුන්ගේ පුද්ගල පරිගණක පරාසය ලංකාවේ එළි දැක්වූ අතර 1984 ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට ඔවුන්ගේ (IBM) පරිගණක පරාසය ප්‍රදර්ශනය කළේය.
දේශීය භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
චන්දන වීරසිංහ මහතා විසින් මෙහෙයවන ලද වැදගත් ව්‍යාපෘතියක් වූයේ සිංහල සහ දෙමළ භාෂා වැන්ග් පරිගණක පද්ධතිවලට හඳුන්වා දීමයි. දේශීය භාෂාවලින් පරිගණකකරණය සඳහා ඉල්ලුමක් පැවති අතර ඉංග්‍රීසියෙන් පමණක් පරිගණක කටයුතු කළ යුත්තේ මන්දැයි පරිශිලකයන් විමසීමට පටන් ගෙන තිබුණි. රාජ්‍ය අංශයට සහ ජනතාවගෙන් පුළුල් කොටසකට පරිගණක වඩාත් පහසුවෙන් භාවිතයට ගත හැකි ආකාරයට පරිගණකය තුළ දේශීය භාෂා සක්‍රීය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් තිබුණි. චන්දන සහ ඔහුගේ කණ්ඩායම මෙම ගැටලුවට විසඳූම් සෙවූ අතර බාහිර ෆොන්ට, වැන්ග් පුද්ගලික පරිගණකවලට හඳුන්වා දිය හැකි බව සොයා ගත්හ. වැන්ග් පුද්ගලික පරිගණකයේ ෆොන්ට මතකයට ප්‍රවේශය ලබා ගැනීමට කටයුතු කළ චන්දන සහ ඔහුගේ කණ්ඩායම ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂා මතකයට ඇතුළත් කළ හැකි ආකාරයට ෆොන්ට වෙනස් කිරීමට කටයුතු කළෝය.
චන්දනා සහ ඔහුගේ කණ්ඩායම ප්‍රධාන සමාගම වන වැන්ග් සමාගම සමඟ සම්බන්ධ වී සිටි අතර, වැන්ග් පරිගණකවලට විවිධ භාෂාවන් හඳුන්වා දීම සඳහා ඔවුන් ගෝලීය මුලපිරීමක් ආරම්භ කර ඇති බව වටහා ගත්හ. වැන්ග් සමාගම ඒ වන විටත් තායි භාෂාව වැනි ආසියානු භාෂා කිහිපයක් ඔවුන්ගේ පරිගණක තුළ සක්‍රීය කර තිබුණි. වැන්ග් සමාගමේ ගෝලීය කණ්ඩායම සමඟ සම්බන්ධ වූ චන්දන වීරසිංහ සහ ඔහුගේ කණ්ඩායම පසුව පීටර් ගෝර්ඩන් මහතා සමඟ කටයුතු කළහ.
සිංහල හා දෙමළ භාෂා පරිගණකය තුළ සක්‍රිය කිරීමේදී මුහුණ දුන් එක් ගැටලුවක් වූයේ මෙම භාෂා දෙකේ අක්ෂර ලතින් අක්ෂර මෙන් නොව බහු මට්ටමේ අක්ෂර වීමයි. මෙම අක්ෂරවල ඉහළ මට්ටමක්, මැද මට්ටමක් සහ පහළ මට්ටමක් (පිලි) තිබේ. මෙම අක්ෂර පරිගණකයට ඇතුළත් කිරීම අභියෝගාත්මක කාර්යයක් විය.
පරිගණකයේ අක්ෂරවල අභ්‍යන්තර නිරූපණය ද ගැටළුවක් ද විය. තනි බයිටයේ ගබඩා කරන සම්මත ඇස්කිවල (ASCII) ඇති 255 ට වඩා ප්‍රමාණයක් සිංහල අක්ෂර සඳහා අවශ්‍ය විය. සිංහල සහ දෙමළ අක්ෂර, මට්ටම් 3 ආකෘතියකින් තිරයේ දැක්වීමට සිදුවිය. යතුරුපුවරුව හරහා ආදානය කිරීමේ ගැටලුවලට ද ඔවුහු මුහුණ දුන්හ. චන්දනා වීරසිංහ සහ ඔහුගේ කණ්ඩායම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැන්ග් සමාගම සමඟ සමීපව කටයුතු කළ අතර වැන්ග් “බහු භාෂා සංස්කාරක” ලෙස හැඳින්වූ මෘදුකාංගයකට සිංහල ඇතුළත් කිරීමට සමත් වූයේය. මෙය ප්‍රධාන වශයෙන් පද සැකසීම සඳහා විය.
චන්දනගේ කණ්ඩායම ශ්‍රී ලංකාවේත් වැන්ග් කණ්ඩායම් එක්සත් ජනපදයේ හ බ්‍රසල්ස් නුවරත් සිටි බැවින් මුලදී විශාල වැඩ කොටසක් කරන ලද්දේ දුරස්ථවයි. මෙම කටයුතුවල අවසාන අදියර සඳහා චන්දන ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ග් ලැබ් සහ බ්‍රසල්ස් හි සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගොස් පැකේජයේ කටයුතු නිමා කළේය. මෙම වැන්ග් පැකේජය 1985 අග භාගයේදී නිකුත් කරන ලදී. එහෙත් තමන් සතු පේටන්ට් බලපත්‍රයක් ඩේටා මැවෙජ්මන්ට් සර්විසස් සමාගම විසින් උල්ලංඝනය කර ඇතැයි ප්‍රකාශ කරමින් සීමාසහිත මෙට්‍රොපොලිටන් සමාගමේ ඒ.කේ. කුමාරසේන අධිකරණයේ නඩුවක් ගොනු කිරීම නිසා මෙම කටයුතු නතර කිරීමට සිදු විය. මෙම නඩුව වසරකට ආසන්න කාලයක් කොළඹ දිසා අධිකරණයේ විභාග විය. වසරකට පමණ පසු දෙපාර්ශ්වයම උසාවියෙන් බැහැරව පැමිණි එකඟකත්වයකට අනුව නඩුව ඉවත් කර ගන්නා ලදී.
පසුව ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම්ස් (DMS) සමාගම විසින් පුද්ගලික පරිගණකවල දේශිය භාෂාවලින් වැඩ කළ හැකි “මව්බිම” නම් සිංහල පැකේජයක්ද “තයිමොලි” නම් දෙමළ පැකේජයක්ද හඳුන්වා දෙන ලදී. මෙමඟින් කර්මාන්තයේ ප්‍රමිතිගත පුද්ගලික පරිගණකවලට සිංහල සහ දෙමළ ඇතුළත් කිරීමට හැකි විය. මෙය මෘදුකාංග හා දෘඪාංගවල එකතුවකි. බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා (DMS) සමාගම මෙම දෘඪාංග සංරචකය ඇතුළත් කළේය. මෙම පැකේජය 1980 දශකයේ අග භාගයේදී වාණිජමය වශයෙන් අලෙවි කරන ලද අතර එය බොහෝ නීතිඥ සමාගම් හා නීතිඥයින් විසින් මිලදී ගන්නා ලදී. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණ ආයතනය වැනි වෙනත් සමාන්තර සංවිධානද දේශීය භාෂා පරිගණනය පිළිබඳ කටයුතු කළ අතර තවත් බොහෝ වාණිජ පැකේජ මේ කාලයේ ලබා ගත හැකි වූයේය.
චන්දන වීරසිංහ මහතා කර්මාන්ත අංශයේ නියැලීමට තීරණය කළත් ඔහු දිගටම අධ්‍යයන කටයුතුවලද නිරත විය. මොරටුව විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වූ ඔහු එහි තොරතුරු තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ කමිටුවේ ද සාමාජිකයෙක් විය. ඔහු තොරතුරු තාක්ෂණ පීඨයේ බාහිර පීඨ මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙම පීඨය අද්විතීය වූයේ එය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ස්ථාපිත කළ පළමුවන තොරතුරු තාක්ෂණ පීඨය වූ බැවිනි. කර්මාන්තයෙන් ඇති ඉල්ලුම සපුරාලීම සඳහා මෙයට මෙයට විද්‍යා අංශයේ සිසුන් පමණක් නොව කලා හා වෙනත් විෂය ධාරාවල සිසුන් ද ඇතුළත් කර ගැනීමේ ගැටලුව පිළිබඳව අවධානය යොමු කරන ලදී. මුලින් තාක්ෂණික විෂයයන් පිළිබඳවත් පසුව වෘත්තීය භාවිතයන් පිළිබඳවත් අවධානය යොමු කරමින් වීරසිංහ මහතා බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ වැඩකටයුතුවල නිරත වූයේය.
ශ්‍රී ලංකා පරිගණක සංගමය
චන්දන වීරසිංහ මහතා 1990 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සාමාජිකත්වය ලබා ගත්තේය. එවකට මෙම සංගමයේ සභාපති වූයේ ලාල් චන්ද්‍රනාත් මහතායි.. සංගමයේ මහ මණ්ඩලයේ සේවය කිරීමට හා ශිෂ්‍ය උපදේශක ධුරය භාර ගැනීමට වීරසිංහ මහතාට ආරාධනා කරන ලදී. ශිෂ්‍ය උපදේශක ලෙස ඔහු ඕස්ට්‍රේලියානු පරිගණක සංගමයේ (ACS) විභාග කටයුතුවලට සම්බන්ධ විය. මෙය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨ මාලා නොතිබූ කාල පරිච්ඡේදයක් වූ අතර ඔස්ට්‍රේලියානු (ACS) සහ බ්‍රිතාන්‍ය (BCS) පාඨමාලා මෙම හිදැස පුරවන ලදී.
ශිෂ්‍ය උපදේශක ලෙස වසර දෙකක් සේවය කිරීමෙන් පසු වීරසිංහ මහතා ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) ලේකම් ලෙස පත් කරන ලදී. නිරන්ජන් ද සිල්වා මහතා මේ වන විට සංගමයේ සභාපතිවරයා විය. ඉන්පසුව චන්දන වීරසිංහ මහතා උප සභාපති ලෙසත් 2003 දී ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සභාපති ලෙසත් පත් කරන ලදී.
මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් විය. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන දියත් කරන ලද්දේත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පිහිටුවන ලද්දේත් මේ කාලයේයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කළ විට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මීට පෙර තිබූ ඉහළම රජයේ ආයතනය වූ පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) වසා දමන ලදී. නිල බලයෙන් එම ආයතනයේ මහාමණ්ඩල සාමාජිකයෙක්වූ චන්දන වීරසිංහ මහතා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) වසා දැමීමේ කටයුතුවලටද සහභාගී විය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පිහිටුවීම පිළිබඳ රැස්වීම්වලට ද ඔහු සහභාගී විය.
එම වසරේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමුළුවේ තේමාව වූයේ “ඉ-ශ්‍රී ලංකාව; දැක්මේ සිට යථාර්ථය දක්වා” යන්නයි. ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සම්මන්ත්රණ වඩාත් විවිධාකාර කිරීමට සහ සහභාගිවන්නන්ට වැඩි ප්‍රයෝජනයක් ලබා දීමට උත්සාහ දරා තිබේ. 2003 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සමුළුව සඳහා විධිමත් සමාරම්භක උත්සවයක් පවත්වන ලදී.
ප්‍රමිතිකරණ න්ෂේත්රයේ කටයුතුවලටද චන්දන වීරසිංහ මහතා ද සම්බන්ධ විය. ඔහු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) තොරතුරු තාක්ෂණය පිළිබඳ ආංශික කමිටුවේ සාමාජිකයෙකි. මෙම කමිටුව අභ්‍යන්තරව සංවර්ධනය කරන ලද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්රමිතීන් මෙන්ම දේශිය භාෂා භාවිතය පිළිබඳ අභ්‍යන්තරව සංවර්ධනය කරන ලද ප්‍රමිති හා අන්තර්ජාතික ප්රමිතීන් පිළිඳවද අවධානය යොමු කළේය. ගෙවීම් පිළිබඳ ප්‍රමිති වැනි බැංකු අංශයට අදාළ ප්‍රමිති පිළිබඳවද මෙම කමිටුව ප්‍රශංසනීය කාර්යයන් සිදු කළ බව ඔහු සඳහන් කරයි. වීරසිංහ මහතා මෙම කර්මාන්තයේ ප්‍රමිතිවල වැදගත්කම අවධාරණය කරයි.
වීරසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ බොහෝ දුරක් ගොස් ඇති බවයි. පළමු පරම්පරාවේ කුඩා පරිගණක සහ මහා පරිගණකවල සිට පුද්ගලික පරිගණක හා පරිගණක ජාල දක්වා දියුණු වූ මෙම තාක්ෂණය දැන් වලාව සහ විසල් දත්ත (Cloud and Big Data)ආදිය වෙත සංක්‍රමණය වී ඇති බවත් ඔහු පවසයි. පරිගණක කර්මාන්තය විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර බොහෝ දෙනෙකුට දැන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට පිවිසීමට හැකි වී තිබේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ අවස්ථා ද පුළුල් වී ඇති අතර පසුගිය වසර 30 තුළ ශ්‍රී ලංකව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විශාල දියුණුවක් ලබා ඇති බව ඔහු පවසයි. වෙනත් රටවලට සාපේක්ෂව බලන විට ශ්‍රී ලංකාව තව බොහෝ දුර යා යුතුව ඇති අතර කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීම අවශ්‍ය බව වීරසිංහ මහතාගේ අදහසයි. එහෙත් ශ්‍රී ලංකා මෘදුකාංග හ සේවා සමාගම්වල සම්මේලනය (SLASSCOM) සහාය සපයන අලුත් ව්‍යාපාර නිර්මාණය කිරීම වැනි හොඳ මුල පිරීම් ඇති අතර මොරටුව විශ්ව විද්‍යාලය වැනි අධ්‍යාපන ආයතන ද රැකියා සොයන්නන් බිහිකිරීම වෙනුවට රැකියා නිර්මාපකයින් බිහිකිරීමට අවධානය යොමු කර තිබේ. වෙනත් බොහෝ කර්මාන්ත හා සසඳන විට අවම ප්‍රාග්ධනයක් සහිතව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතන ස්ථාපිත කළ හැකි බැවින් යා යුතු නියම මග එය යයි ඔහු ප්‍රකාශ කරයි.