සිරි සමරක්කොඩි මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ය. පාසලේ ගුවන් විදුලි සමාජයේ ලේකම් වූ ඔහුට ඉලෙක්ට්රොනිකික විද්‍යාව ගැන මුලින්ම උනන්දුවක් ඇතිවූයේ මෙහිදීය. ඔහු එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගෙන තිබේ. සමරක්කොඩි මහතා ශ්‍රී ලංකාවට ජංගම දුරකථන හඳුන්වාදීමේ පුරෝගාමියෙකි. සෙල්ටෙල් ලංකා සමාගමේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරියා වූ ඔහු බලපත්‍ර ලබා දීමේ සාකච්ඡාවලට හා තාක්ෂණික අංශයන්ට සම්බන්ධ විය. ශ්‍රී ලංකාවේ පළමු වාණිජ වෙබ් අඩවිය වන www.lanka.net ආරම්භ කළ ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිටුවීමට ද ඔහු සම්බන්ධ විය.
කෙටි වීඩියෝව
සම්පූර්ණ වීඩියෝව
සිරි සමරක්කොඩි මහතා තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උනන්දුව ආරම්භ වූයේ ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී ය. 1972/73 කාලය තුළ ඔහු පාසලේ ගුවන්විදුලි සමාජයේ ලේකම්වරයා වූ අතර ගුවන් විදුලි සමාජයේ සාමාජිකයින් විසින් ඇම්ප්ලිෆයර් වැනි උපකරණ සහ ආධුනික ගුවන්විදුලියක් සාදන ලදී. ඔවුන් විසින් සාදන ලද සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ තාප මෝචන වෑල්ව මත පදනම් විය. එවකට ශ්‍රී ලංකාවේ ට්‍රාන්සිස්ටර නොතිබුණි. ගුවන්විදුලි සමාජයේ සාමාජිකයෝ අනෙකුත් සිසුන්ට ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳ මූලික කරුණු ඉගැන්වීය. පාසලේ ශබ්ද විකාශන පද්ධතිය ගොඩනැගීමට ද සමරක්කොඩි මහතා පාසල් සිසුවෙකු ලෙස සම්බන්ධ විය.
පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු එක්සත් රාජධානියට ගිය අතර එහිදී ඔහුට විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත හැකි විය. ඔහු ටික කලක් එක්සත් රාජධානියේ අයි.බී.එම්. පරීක්ෂණාගාරයේ වැඩ කළ අතර සමරක්කොඩි මහතා මයික්‍රොප්‍රොසෙසරය ගැන දැන ගත්තේ මෙහිදීය. මෙය ඔහුට ඉතා වැදගත් අනාවරණයක් විය. ඔවුන් වැඩ කළේ IBM System / 370 වැනි විශාල පරිගණක සමඟ බවත් උපදෙස් කට්ටලය කුඩා කාඩ්පතක් වු බවත් සෑම උපදෙසක්ම අතින්ම ඇතුල් කළ යුතු වූ බවත් ඔහු සිහිපත් කරයි. 1980 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණි සමරක්කොඩි මහතා තවත් ආයෝජකයින් කීප දෙනෙක් සමඟ එක්වී ‘ඩේටා ජෙනරල්’ සහ ‘බීබීසී’ ක්ෂුද්‍ර පරිගණක සඳහා ඒජන්සිය ලබා ගත්තේය. ඔවුන් ගෙන ආ පළමු පරිගණක කොළඹ හා යාපනය විශ්ව විද්‍යාල, ඇතුළු තවත් බොහෝ දෙනෙකුට සපයන ලදී. පළමු පරිගණකයේ ප්‍රධාන මතකය කිලෝ බයිට 512ක්ද (512 K), ස්ථාවර දෘඪ තැටියේ ධාරිතාව මෙගා බයිට 10 (10 MB) වු අතර ඉවත් කළ හැකි තැටියේ ධාරිතාවද මෙගා බයිට10ක් (10 MB) විය. මෙය විප්ලවීය පියවරක් වූ අතර සියලුම විශ්ව විද්‍යාල මේ කාලයේ පරිගණක භාවිතා කිරීම ආරම්භ කළේය.
ඒ අතරම, සමරක්කොඩි මහතා ඉංජිනේරුවෙකු වූ ඔහුගේ මිතුරෙකු සමඟ රූපවාහිනී ඇන්ටෙනා නිෂ්පාදනය කිරීම ආරම්භ කළ නමුත් උග්‍ර තරඟය හේතුවෙන් එය නතර කිරීමට සිදු විය. ඉන්පසු ඔවුහු ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කළහ. ඔවුන් මෙය දිගටම කර ගෙන ගිය අතර 1994 වන විට එහි සේවකයින් 1000 ක් පමණ සිටියහ. ඔවුන්ට හෝමාගම කර්මාන්ත ශාලාවක් තිබූ අතර දෙවරක් ජනාධිපති අපනයන සම්මානය දිනා ගැනීමටද සමත් විය.
ජංගම දුරකථන – සෙල්ටෙල් ලංකා සමාගම පිහිටුවීම
මේ අතර, සමරක්කොඩි මහතා ජංගම දුරකථන හඳුන්වාදීමේ හැකියාව ගැන ගවේෂණය කරමින් සිටියේය. මේ කාලයේ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ජාලය ඒකාධිකාරයක් වූ අතර එය ඉතා සංකුලිත වීම නිසා විශේෂයෙන් උච්ච වේලාවන්හිදී දුරකථන ඇමතුමක් ලබා ගැනීම පවා දුෂ්කර වූයේය. සමරක්කෝඩි මහතා ගල්කිස්සේ ජීවත් වූ අතර ඔහු පවසන්නේ සමහරවිට දුරකථනයේ ඩයල් ටෝන් එකක්වත් නොතිබූ බවයි. සමරක්කොඩි මහතා ජංගම තාක්ෂණය ගැන හැදෑරූ අතර පසුව ඔහුට ජංගම ජාලයක් දියත් කිරීමට උනන්දුවක් දක්වන වෙනත් අයද මුණ ගැසුණි. ඉන්පසු 1987 දී පමණ ඔහු ශ්‍රී ලංකාවේ පළමු ජංගම දුරකථන සමාගම වන සෙල්ටෙල් ආරම්භ කළේ තවත් දේශීය ආයෝජකයින් තිදෙනෙකු වූ මැණික්දිවෙල මහතා, ආතර් සේනනානායක මහතා සහ අරුණ සිරිවර්ධන මහතා සහ ස්වීඩන් සමාගමක් සමගයි. සමරක්කොඩි මහතා ප්‍රධාන විධායක නිලධාරියා විය. තාක්ෂණික අංශ, ජාලය සැලසුම් කිරීම සහ මූලික බලපත්‍ර ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු විය. මෙම කාලය තුළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවක් නොතිබුණි. බලපත්‍ර ලබා ගත යුතුව තිබුණේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙනි. එවකට විදුලි සංදේශ අධ්යක්ෂකවූ කේ. කේ. ගුණවර්ධන මහතා බලපත්‍රය (එය A4 කඩදාසියක නිකුත් කරන ලදී!) ලබා ගැනීමේදී තාක්ෂණික ගැටලු බේරුම් කර ගැනීමට උපදෙස් ලබා දෙමින් ඔවුන්ට විශාල වශයෙන් සහාය දැක්වූයේය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසින් සෙල්ටෙල් සමාගමට ලබා දුන් මුල් බලපත්‍රයේ අවසර දී තිබුණේ කටහඬට පමණි.
පාදක ස්ථාන හතරකින් ශ්‍රී ලංකාවේ පළමු ජංගම ජාලය ආරම්භ කිරීමට සමරක්කොඩි මහතා සහ ඔහුගේ කණ්ඩායම සමත් විය. මෙම කාලය තුළ ජංගම දුරකථන ඉතා මිල අධික වු අතර සාමාන්‍යයෙන් එක කට්ටලයක් ඩොලර් 700 / – ක් විය. ආනයන තීරුබදු සමඟ එය රුපියල් 100,000/- පමණ වූයේය. පළමු වසර තුළ ග්‍රාහකයින් 1000 ක් පමණ සිටියහ. හදිසියේම, මිල අඩු වීමට පටන් ගත් අතර අනෙකුත් මෙහෙයුම්කරුවන්ද මෙම ක්ෂේත්රයට අවතීර්ණ වුයේය. සෙල්ටෙල් ප්‍රතිසම ජාලයක් වූ අතර ඩයලොග් ජීඑස්එම් තාක්ෂණය සමඟ පැමිණීමත් සමග වෙළඳපොළ වෙනස් විය. ඉන් අනතුරුව සමරක්කෝඩි මහතා සෙල්ටෙල් හි ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස් වූ නමුත් දිගටම කොටස් හිමියෙකු ලෙස කටයුතු කළේය.
සෙල්ටෙල් සමාගමේ පළමු පරම්පරාවේ ජාලයට දත්ත රැගෙන යා නොහැකි විය. දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වූයේ, මුලින් ඩයලොග් සමාගම විසින් සහ පසුව අනෙකුත් සියලුම ක්‍රියාකරුවන් විසින් ජීඑස්එම් තාක්ෂණය හඳුන්වා දීමෙන් පසුවයි. 1980 ගණන්වල සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වූයේ හඬ සහ දත්ත අභිසාරී වීමයි. දෙකම එක හා සමාන විය. 2G ජංගම දුරකථන හඳුන්වා දුන් අතර ඉන් පසුව 3G සහ 4G දුරකථනද වෙළඳපොළට පැමිණියේය. දැන් 3G සඳහා තැනක් නොමැති බැවින් වාහකයන් 3G ඉක්මනින් ඉවත් කරනු ඇතැයි සමරක්කෝඩි මහතා විශ්වාස කරයි. දැන් සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ 5G තාක්ෂණයයි. අභිසාරීතාව සම්පුර්ණ වී ඇති අතර, දැන් කටහඬ ද ගෙන යන්නේ දත්ත ලෙසයි.
ලංකා ඉන්ටර්නෙට්
1990 දශකයේ මැද භාගය වන විට අන්තර්ජාලය ආරම්භ වී තිබුණි. සමරක්කෝඩි මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ සිටි සගයන් වූ ආචාර්ය ප්‍රභාත් සමරතුංග හා මහාචාර්ය කුලතිලක සමග එක්ව ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිටුවීය. මුලදී, ඔවුන් සතුව තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) වෙතින් ලබා ගත් 64K සන්නිවේදන මාර්ගයන් සහ මොඩම් බැංකුවක් පමණි. මොඩම 2.4k වූ අතර ඔවුන්ට කළ හැකි වූයේ ඊමේල් යැවීම පමණි.
ඉන් පසුව දැන් ලංකා ක්ලියර් සමාගමේ සිටින චන්න ද සිල්වා මහතා වැනි ප්‍රවීණයන් ලංකා ඉන්ටර්නෙට් සමාගමට සම්බන්ධ වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේ පළමු වාණිජ වෙබ් අඩවිය වන www.lanka.net ආරම්භ කළහ. ලංකා ඉන්ටර්නෙට් සමාගම විසින් ශ්‍රී ලංකාවේ පළමුවරට ‘ඩේලි නිව්ස්’ සහ ‘සන්ඩේ ඔබ්සර්වර්’ අන්තර්ජාල පුවත්පත් ලෙස ලබා දෙන ලදී. පළමු මාර්ග-ගත ගුවන්විදුලි විකාශනය වූ ටීඑන්එල් රේඩියෝව ආරම්භ කළේ ද ලංකා ඉන්ටර්නෙට් සමාගමයි. තවත් බලපත්‍ර නිකුත් කරන තෙක් මෙය ටික කලක් ඒකාධිකාරයක් විය. සමරක්කොඩි මහතා සිය කොටස් විකුණා දමා වෙනත් ව්‍යාපාරවලට යොමු විය. එය ඉදිරියට ගෙන යා නොහැකි වීම ගැන ඔහු කනගාටු වන නමුත් ඔහු පවසන්නේ ලංකා ඉන්ටර්නෙට් සමාගම දත්ත සඳහා පමණක් වූ අතර අනෙක් ක්‍රියාකරුවන් දත්ත සහ හඬ ඒකාබද්ධව සැපයූ බැවින් ලංකා ඉන්ටර්නෙට් සමාගමට තරග කළ නොහැකි වූ බවයි.
අවසාන වශයෙන් සමරක්කොඩි මහතා ප්‍රකාශ කර සිටියේ තමා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනයට මෙන්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණයට ද සම්බන්ධ වූ බවයි. 1980 ගණන්වල ඔහු පුරෝගාමියෙකු වූ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අංශය දැන් ඉතා හොඳින් වර්ධනය වී තිබේ. නිදහස් වෙළඳ කලාපවල මෙවැනි දේ නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් කිහිපයක් ද තිබේ. අනාගතය 5G සමඟ වන අතර සියල්ල සම්බන්ධ කරන අන්තර්ජාලය (IOT) සහ වෙනත් නව තාක්ෂණයන් සමග ඒ මගින් නව අවස්ථා විවර වනු ඇත.