මහාචාර්ය සෑම් කරුණාරත්න

මින් අඩ සියවසකට පෙර එනම් 1960 දශකයේ ලංකාවේ පරිගණක කටයුතු ආරම්භ වූ යුගය මහාචාර්ය සෑම් කරුණාරත්න සිහිපත් කරයි. 1960 ගණන්වල අග භාගයේ දී රාජ්‍ය අංශයේ සංවිධානයකට පරිගණකයක් ලබා දීමට රජය තීරණය කළ බව ඔහු සිහිපත් කරයි. සිවිල් ඉංජිනේරුවෙකු සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) ආරම්භක සභාපති වු ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා එම සංස්ථාවට පරිගණකයක දැඩි අවශ්‍යතාවක් ඇති බව පෙන්වා දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරිගණකයක් මිල දී ගැනීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 2 ක පමණ මුදලක් වෙන් කරන ලදී. එවකට ඇමරිකා එක්සත් ජනපදයේ බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්ය සෑම් කරුණාරත්න 1967 අප්‍රේල් මාසයේ දී ආපසු ලංකාවට පැමිණ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සම්බන්ධ විය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මුලදී IBM System/360 පරිගණකයක් මිල දී ගැනීමට උත්සාහ කළ නමුත්, මෙම පරිගණකය ඒ වන විට ලංකාව තුළ අලෙවි නො කරන බව ඔවුන්ට පසුව අවබෝධ විය. එබැවින්, ඉන්ජිනේරු සංස්ථාව විසින් ICL 1900 මහා පරිගණකයක් මිලදී ගන්නා ලද අතර එහි විද්‍යාත්මක හා ඉංජිනේරු කටයුතු සිදු කිරීමේ පහසුකම් තිබුණි. මෙය ලංකාවට ගෙන්වන ලද පළමු පරිගණකය විය. පරිගණකය ඇණවුම් කිරීමෙන් පසු එය ලැබුණේ මාස කිහිපයකට පසුවයි. මේ අතර රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව පද්ධති විශ්ලේෂකයින්, ක්‍රමලේඛකයන්, පරිගණක ක්‍රියාකරුවන් සහ දත්ත ඇතුළත් කරන්නන් ආදි පරිගණක කටයුතු සඳහා අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමට කටයුතු කළේය. ආරම්භක පද්ධති විශ්ලේෂකයින් හතර දෙනා වූයේ ආචාර්ය ආර්.බී.ඒකනායක, රන්ජන් පෙරේරා, එස්.ජේ. සිල්වා සහ තවත් අයෙකි.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ඉන්ජිනේරු සංස්ථාවේ වැටුප් ලේඛනය පරිගණකගත කිරීම

රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට අලුතෙන් බඳවා ගත් මෙම කණ්ඩායම, පරිගණක ක්‍රමලේඛන ලිවීමේ කටයුතු ආරම්භ කළේ පරිගණකය ලැබීමටත් පෙර සිටයි. ආචාර්ය කුලසිංහගේ උපදෙස් වූයේ එය “ඵලදායී ලෙස භාවිතා කරන්න” යන්නයි. එබැවින් කළමනාකාරිත්වය සමග සාකච්ඡා කිරීමෙන් පසු මහාචාර්ය කරුණාරත්න ඇතුළු කණ්ඩායම සංස්ථාවේ වැටුප් ලේඛනය පරිගණක ගත කිරීමට තීරණය කළහ. සංස්ථාවේ සේවකයින් 15,000 කට අධික සංඛ්‍යාවක් දිවයින වටා වැඩ බ්ම් 50 පුරා විසිරී සිටි බැවින් මෙය පහසු කාර්යයක් නොවීය. සවි කරන ලද පරිගණකය ඉතා විශාල යන්ත්‍රයක් වූ අතර එය විශාල මධ්‍යම සැකසුම් ඒකකයකින් සහ විශාල පටි ධාවක හතරකින් සමන්විත විය. මේ යුගයේ චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් නොතිබුණි. පේළි මුද්‍රණ යන්ත්‍රයක් තිබූ අතර එයට විනාඩියකට පේළි 1500 මුද්‍රණය කළ හැකි විය. මුද්‍රණ කටයුතු සිදු කළ හැකි වූයේ එක ම එක ෆොන්ටයකින් පමණක් වූ අතර එය ද මහකුරු පමණක් විය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ස්ථාපිත කරන ලද ප්‍රථම පරිගණකය වූ මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රථම පරිගණකය ද වූයේ ය.

ඉන්වෙන්ටරි (inventory) පාලන පද්ධතිය

ඊළඟ ව්‍යාපෘතිය වූයේ බඩු තොග (ඉන්වෙන්ටරි) පාලන පද්ධතිය පරිගණක ගත කිරීමයි. රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව රටේ විශාලතම ඉදිකිරීම් සංවිධානය වූ අතර විශාල ගොඩනැගිලි, මහා වේලි, රෙදි මෝල් ආදිය ඉදිකිරීමට එම ආයතනය සම්බන්ධ වූ අතර එහි සේවකයින් 15,000 කට වඩා සිටියහ. ඉදිකිරීම්, බාධාවකින් තොර ව සුමට ව සිදු වීමට නම් අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ස්ථානයට නියමිත වේලාවට ලබා දිය යුතු වේ. අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් වැඩ නතර නො කර ඉදිකිරීම් කර ගෙන යාම සඳහා සෑම ස්ථානයකට අවශ්‍ය සියලු ම ගොඩනැගිලි ද්‍රව්‍ය අවශ්‍ය වේලාවට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා බඩු තොග පාලන පද්ධතිය ක්‍රියාත්මක කරන ලදී. එබැවින්, පළමු ව, අයිතම (item) කේත ලැයිස්තුවක් කෙටුම්පත් කරන ලදී. මෙහි දී එක් එක් අයිතමය සඳහා කේත පැවරීම සිදු විය. සිමෙන්ති, වානේ, කම්බි ඇණ ආදි සෑම අයිතමයකටම අනන්‍ය කේතයක් වෙන් කරන ලදී. ඉන්වෙන්ටරි පාලන පද්ධතිය සාර්ථකව නිම කරන ලද අතර එය ක්‍රියාත්මක කිරීමත් සමග යම් භාණ්ඩයක් නැවත ඇණවුම් කළ යුතු මට්ටමට පැමිණි විට අවශ්‍ය ප්‍රමාණය නැවත ඇණවුම් කළ යුතු බව පරිගණකය පෙන්වා දුන්නේය. මෙම මුලපිරීම ඉතා සාර්ථක විය. වර්තමානයේ මෙවැනි ඉන්වෙන්ටරි පාලන මෘදුකාංග, මිලදී ගත හැකි බව ආචාර්ය කරුණාරත්න පෙන්වා දුන්නේය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීම

ඉන් පසුව, ශ්‍රී ලංකාවේ සෑම ගෙදරකට ම බලපාන මෘදුකාංග ලිවීමට මෙම කණ්ඩායම අවධානය යොමු කළ අතර ඔවුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පරිගණක ගත කිරීමට තීරණය කළෝ ය. ඒ 1968 වර්ෂයේ දීයි. මේ කාලය තුළ අයදුම්කරුවන් තුන් ලක්ෂ හැට දහසක් පමණ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බව මහාචාර්ය කරුණාරත්න සිහිපත් කරයි. සෑම වසර කම දෙසැම්බර් මාසයේ දී විභාග පැවැත්වූ අතර සාමාන්‍යයෙන් මාස හයක කාලයකට පසුව ප්‍රතිඵල නිකුත් කෙරුණි. එබැවින්, ඉන්ජිනේරු සංස්ථාව, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ඉක්මන් කිරීම සඳහා පරිගණක ක්‍රමලේඛයක් සකස් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, විභාගය පවත්වා දින 13කට පසු ප්‍රතිඵල නිකුත් කරන ලද අතර, මෙම මුලපිරීම අති සාර්ථක විය. ඉන් අනතුරුව, මෙම වැඩසටහන අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ද ක්‍රියාත්මක කරන ලදී.

ලංකා කාර්මික විද්‍යාලයේ ගොඩනැගිල්ල සැලසුම් කිරීම

ඉහත ව්‍යාපෘති සාර්ථක වූ නමුත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යය වූයේ ඉදිකිරීම් ය. පරිගණකය භාවිතයෙන් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව පිරිසැලසුම් කළ පළමු ගොඩනැගිල්ල වූයේ ලංකා කාර්මික විද්‍යාලය සඳහා වු ගොඩනැගිල්ලයි. පරිගණකයක් භාවිතයෙන් මෙරට පිරිසැලසුම් කරන ලද පළමු ගොඩනැගිල්ල වූයේත් මෙයයි. මෙය මහල් 10 යුත් ගොඩනැගිල්ලක් වූ අතර පරිගණකයට මෙම ගොඩනැගිල්ල පිරිසැලසුම් කිරීමට ගත වූයේ විනාඩි 16 ක් පමණි.

කළුතර චෛත්‍යය පිරිසැලසුම් කිරීම

ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ නව අදහස් තිබූ ආදර්ශමත් සිවිල් ඉංජිනේරුවෙක් බව මහාචාර්ය කරුණාරත්න සිහිපත් කරයි. කළුතර ගඟ අසල චෛත්‍යයක් ඉදිකිරීමට තීරණයක් ගෙන තිබුණි. සාමාන්‍යයෙන් චෛත්‍යයක් ගඩොලින් තැනූ ව්‍යුහයක් වන නමුත් ආචාර්ය කුලසිංහ, මෙහි කවච ව්‍යුහයක් සහිත චෛත්‍යයක් ඉදිකිරීමට තීරණය කළේ එමගින් බැතිමතුන්ට එහි අභ්‍යන්තරයට යෑමට හැකි වන පරිදියි. පිටතින් බැලූ විට එය සාමාන්‍ය චෛත්‍යයක් මෙන් දිස් වූ නමුත් කවච ව්‍යුහයක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවීය. ඒ කාලයේ එවැනි කාර්යයක් සඳහා මෘදුකාංගයක් නො තිබූ අතර, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ කණ්ඩායමට මෙම කාර්යය සඳහා තමන්ගේ ම ඇල්ගොරිතම සකස් කර ගැනීමට සිදු විය. ආතති සහ වික්‍රියා පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන චෛත්‍යයේ පැත්තකින් කුඩා ස්තූපයක් ඉදිකරන ලදී. ආචාර්ය කරුණාරත්න ඇතුළු කණ්ඩායම මේ සඳහා සමගාමී රේඛීය සමීකරණ භාවිතා කළ අතර සමගාමී රේඛීය සමීකරණ 1080 ක් විසඳිය යුතු විය. පරිගණකයට වුවද මේ සියල්ල විසඳීමට පැය ගණනාවක් ගතවන බැවින්, ඒ අතර විදුලිය විසන්ධි වුවහොත් සියල්ල නැවත කිරීමට සිදු වන බැවින් උපස්ථ ජෙනරේටරයක් ද ඇණවුම් කරන ලදී. මෙම සමීකරණ විසඳීමට පැය හතක් ගත විය. චෛත්‍ය ආකෘතියේ ඇති ආතති සහ වික්‍රියා, ප්‍රධාන ස්තූපය සඳහා ගණනය කළ අගයන් සමඟ ඉතා සමීප විය. එකල – එනම් 1968/1969 කාලයේ මෙය සැබෑ ජයග්‍රහණයක් වූ බව මහාචාර්ය කරුණාරත්න ප්‍රකාශ කරයි.

FORTRAN භාෂාව පිළිබඳ පොත

මෙම යුගයේ ඉංජිනේරුවන් ෆෝට්‍රාන් (සූත්‍ර පරිවර්තනය) පරිගණක භාෂාව බහුලව භාවිත කළ බව මහාචාර්ය කරුණාරත්න සිහිපත් කරයි. එබැවින් ඔහු “ෆෝට්‍රාන් ක්‍රමලේඛනය” (FORTRAN Programming) නමින් පොතක් සම්පාදනය කළේය. කවච ව්‍යුහයන් සැලසුම් කිරීම ඇතුළු වෙනත් බොහෝ විද්‍යාත්මක යෙදුම් සඳහා මෙම භාෂාව භාවිතා කරන ආකාරය මෙහි පැහැදිලි කරන ලදී. මෙම පොතේ පිටපත් දහසක් මුද්‍රණය කරන ලද අතර වසර පහක් තුළ පොත් 1000ම අලෙවි විය. FORTRAN භාෂාව පිළිබඳව අවම වශයෙන් දහසක් පමණ උනන්දුවක් දැක්වූ බව මෙයින් හැඟවෙන බව ආචාර්ය කරුණාරත්න ප්‍රකාශ කරයි.

ආර්ථිකමිතික විශ්ලේෂණය

රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ පරිගණකය භාවිතයෙන් අවම යෙදවුම් සහිතව රටේ නිෂ්පාදනය උපරිම කිරීමට ආර්ථිකමිතික විශ්ලේෂණයක් කළ හැකිද යන්න ආර්ථික විද්‍යාඥ ආචාර්ය ලාල් ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් සංස්ථාවෙන් විමසා සිටියේය. ආචාර්ය කරුණාරත්න ඇතුළු කණ්ඩායම මෙම ඉල්ලීම අධ්‍යයනය කර එය රේඛීය ක්‍රමලේඛනය භාවිතයෙන් කළ හැකි බව තහවුරු කර ගත්හ. ඉන්ජිනේරු සංස්ථා පරිගණකයේ රේඛීය ක්‍රමලේඛන මෘදුකාංගයක් තිබූ බැවින් අලුතෙන් ඒ සඳහා මෘදුකාංග ලිවීමක් අවශ්‍ය වුයේ නැත. ඔවුන් මෙය කිරීමට එකඟ වූ අතර රටට සෙත සැලසෙන පරිදි මෙම කටයුත්ත ද සාර්ථකව නිම කරන ලදී. ඒ 1969 වර්ෂයේ දී ය.

පොල් පර්යේෂණ ආයතනය – නිෂ්පාදනය පුරෝකථනය කිරීම 

පරිගණකය භාවිතයෙන් පොල් වත්තක අස්වැන්න පුරෝකථනය කිරීමට පොල් පර්යේෂණ ආයතනයේ ජෛවමිතික විශේෂඥයෙකුට අවශ්‍ය විය. අස්වැන්න ලබා ගැනීමට පෙර සති අටක් තුළ ලැබුණු වර්ෂාව ඇතුඵ වර්ෂා රටාව සම්බන්ධ විචල්‍ය අටක් තිබුණි . පෙර වසර 20 සඳහා වු වර්ෂාව හා අස්වැන්න පිළිබඳ දත්ත ඔහුට තිබුණි. ඉන්ජිනේරු සංස්ථාවේ කණ්ඩායම, බහු-ප්‍රතීපායන විශ්ලේෂණයක් (multi-regression analysis) භාවිතා කරමින් මේ සඳහා ක්‍රමලේඛයක් සකස් කළ අතර, ඒ මගින් කිසියම් වැසි රටාවකින් පසුව ලැබෙන අස්වැන්න ප්‍රමාණය පුරෝකථනය කිරීමට පොල් පර්යේෂණ ආයතනයට හැකි වූයේ ය.

රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හැර යාම

ආචාර්ය සෑම් කරුණාරත්න වසරකුත් මාස නවයක් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ අඛණ්ඩව සේවය කර නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණියේ ය. මෙම කාලය තුළ රට තුළ තිබුණේ එකම විශ්වවිද්‍යාලයකි – එය “ලංකා විශ්වවිද්‍යාලය” විය. මොරටුව විශ්වවිද්‍යාලය ස්ථාපිත කර තිබුණේ නැත. කොළඹ තිබූ ඉංජිනේරු පීඨය 1964 දී පේරාදෙණියට ගෙන යන ලදී. මහාචාර්ය කරුණාරත්න සේවය කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේයි. ඉන් පසු ඔහු මොරටුව ලංකා තාක්ෂණ විද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර සඳහා ඉල්ලුම් කළ අතර මාස දෙකක් ඇතුළත ඔහු මෙම තනතුරට පත් විය. මෙම ආයතනය පසුව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපය ලෙසත් ඉන් පසුව මොරටුව විශ්ව විද්‍යාලය ලෙසත් හැඳින්විණි. 1969 ජුලි මස ප්‍රථම පුද්ගලයා සඳ මත පා තැබූ අවස්ථාවේදී තමා වයස අවුරුදු 32 දී ලංකා තාක්ෂණ විද්‍යාලයට පා තැබු බව මහාචාර්ය කරුණාරත්න උත්ප්‍රාසී ලෙස සිහිපත් කරයි. තමා විශ්‍රාම ගත්තේ වයස අවුරුදු 32 සිට 65 දක්වා වූ කාලය තුළ වසර 33ක් මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කිරීමෙන් පසුව බව මහාචාර්ය කරුණාරත්න සිහිපත් කරයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT)

මීට පෙර විශ්වවිද්‍යාල වලින් බිහි වූයේ පරිගණක ඉංජිනේරු විද්‍යාව හෝ පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරීන් ය. මෙම උපාධිධාරීන් සංඛ්‍යාව ද ඉතා කුඩා වූ අතර රටේ වර්ධනය වන අවශ්‍යතා සඳහා එය ප්‍රමාණවත් නොවීය. වසරකට බිහි කළ හැකි උපරිම උපාධිධාරීන් සංඛ්‍යාව වූයේ ආසන්න වශයෙන් 100 කි. ඒ නිසා මහාචාර්ය කරුණාරත්න කියා සිටියේ “වසරකට උපාධිධාරීන් 1000ක් බිහි කරන කාර්යයකට අපි මූලිකත්වය දුන්” බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1999 දී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ආරම්භ කරන ලදී. එහි ආරම්භක සභාපතිවරයා වූයේ මහාචාර්ය කරුණාරත්න වන අතර කළමනාකාර අධ්‍යක්ෂවරයා වූයේ ආචාර්ය ලලිත් ගමගේ ය. මහාචාර්ය කරුණාරත්න මහතා සභාපතිවරයා ලෙස වසර 15ක් සේවය කර වයස අවුරුදු 80 දී විශ්‍රාම ගත්තේය. මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ‘තම අපේක්ෂාවන්ට වඩා බොහෝ දුර ගොස් ඇති’ බව ඔහුගේ අදහස විය.

සම්පත්