කෝලිත ධර්මවර්ධන මහතා


කෝලිත ධර්මවර්ධන මහතා 1986 දී තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් විය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළේ ය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්වගාමියා වූ තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) විසින් “පරිගණක සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රටේ නීති පද්ධතියට හඳුන්වා දිය යුතු ක්‍රම යෝජනා සකස් කිරීම සහ ඒවා නීතිගත කිරීමට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම…” සඳහා නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුව පිහිටුවන ලදී. තොරතුරු තාක්ෂණ භාවිතය තුළින් මතු විය හැකි නව වතාවරණය සමග කටයුතු කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා සාක්ෂි නීතිය සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව කමිටුව ආරම්භයේ දීම අවබෝධ කර ගත්තේ ය. නීති සම්පාදනය සඳහා යෝජනා සකස් කිරීම පිළිබඳ මෙම ප්‍රධාන පැවරුම ධර්මවර්ධන මහතා වෙත ලබා දෙන ලදී. පරිගණක සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග මගින් නිපදවන ලද තොරතුරු පිළිගැනීම පිළිබඳ මෙම කාර්යය අවසන් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත අනුමත විය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුව:

පසුව තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) ලෙස නම් කරන ලද ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ ක්‍රියාකාරී කමිටුවක් ලෙස 1986 දී නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුව පිහිටුවන ලදී. 1986 පෙබරවාරි මස පැවති එහි පළමු රැස්වීමේ දී, එම කමිටුව පිහිටුවීමේ මූලික හේතුව පිළිබඳ ව සාකච්ඡා කරන ලදී: “….. වසර කිහිපයකින් පරිගණක තාක්ෂණය සම්බන්ධ කරුණු ප්‍රධාන නීතිමය ගැටලු බවට පත් විය හැක. මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ පරිගණක සහ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධයෙන් රටේ නීති පද්ධතිය තුළ සුදුසු ක්‍රියාමාර්ග සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සොයා බැලීමත්, තොරතුරු තාක්ෂණයේ පුළුල් භාවිතය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත් ය.”

එවකට ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයකු වූ කෝලිත ධර්මවර්ධන මහතා මෙම කමිටුවේ දී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළේ ය. තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය වී. කේ. සමරනායක මහතා එවකට අතිරේක සොලිසිටර් ජනරාල් වූ සුනිල් ද සිල්වා මහතාගෙන් මෙම කමිටුවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නියෝජිතයෙකු නම් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව ධර්මවර්ධන මහතා නම් කරන ලදී.

වසර ගණනාවක් පුරා මෙම කටයුතුවල නිරත වූ ක්‍රියාකාරී කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) සභාපති වූ මහාචාර්ය වී. කේ. සමරනායක, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩී. එම්. කරුණාරත්න, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ උපවංශ යාපා මහතා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ පී. බී. හේරත් මහතා සහ ධාරා විජයතිලක මහත්මිය, නීති පීඨයේ පීඨාධිපතිවරුන් ලෙස කටයුතු කළ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක සහ එන්. සෙල්වක්කුමාරන් මහතා, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නලින් අබේසේකර මහතා සහ තෙරේස් පෙරේරා මහත්මිය, නීතිපති දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව්. පී. ජී. ඩෙප් මහතා, බැංකු අංශයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වූ ලාල් ඩයස් මහතා, පොලිස් දෙපාර්තමේන්තුවේ බී. කේ. ජී. නවරත්න මහතා, ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් මහතා සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ කොටස් වෙළඳපොළේ නියෝජිතයින් ද කටයුතු කළේ ය.

1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත

තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුව විසින් සිදු කරන ලද පළමු කාර්යයක් වූයේ ශ්‍රී ලංකාවේ සාක්ෂි නීතිය සමාලෝචනයට භාජනය කිරීම සහ සංශෝධනයට ලක් කිරීමයි.

පරිගණක සහ තොරතුරු තාක්ෂණය භාවිතයෙන් මතු විය හැකි නව තත්ත්වයන් යටතේ සාක්ෂි නීතිය ක්‍රියාත්මක කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා සාක්ෂි නීතිය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ආරම්භයේ දී ම කමිටුව අවබෝධ කර ගත්තේ ය. මෙහි දී විසඳිය යුතු බරපතළ ප්‍රශ්නයක් තිබුණි. සාක්ෂි නීතියට අනුව මිනිසෙකු විසින් කරන ලද ප්‍රකාශයක් හෝ මිනිසෙකු විසින් සකස් කරන ලද ලියවිල්ලක් මුල් සාක්ෂි ලෙස තිබීම අවශ්‍ය විය. වෙනත් කිසිවක් ඇත්ත වශයෙන් ම සාක්ෂි නීතියට අනුව සාක්ෂි නොවීය. මෙය බරපතළ ගැටලුවකට හේතු විය හැකි බවට කමිටුව එකඟ විය. මිනිසුන් සෘජුවම සම්බන්ධ නොවන, පරිගණක මගින් සිදු කරන ඇතැම් සැකසුම් කාර්යයන් තිබේ. උදා: විවිධ පුද්ගලයන් විවිධ ගනුදෙනු පිළිබඳ තොරතුරු පරිගණකයකට ලබා දීමෙන් පසුව, පරිගණකය විසින් සම්පූර්ණ ලේඛනයක් සම්පාදනය කෙරේ. එබැවින්, එයට සම්බන්ධ වූ සියලු ම පුද්ගලයින් කැඳවීමකින් තොර ව ප්‍රතිඵල ලේඛනය සාක්ෂියක් ලෙස පිළිගැනීමට විශේෂ ප්‍රතිපාදන අවශ්‍ය විය. මුල් සාක්‍ෂි උසාවියට ​​පැමිණිය යුතු බවට විරෝධතා ඉදිරිපත් වුවහොත් බරපතළ ගැටලුවක් පැන නැගිය හැකි අතර, ලේඛනය සෑදීමේ දී සිදු කරන ලද සෑම ගනුදෙනුවක් ම පැහැදිලි කිරීමට එයට සම්බන්ධ වූ සියලු දෙනා ම අධිකරණයට කැඳවීම ද ප්‍රායෝගික නොවනු ඇත. වර්තමානයේ කිසියම් නිශ්චිත තොරතුරක් සම්බන්ධයෙන් විශේෂිත කතුවරයෙකු හඳුනා ගැනීම ද අපහසු වේ.

සමස්ත සාක්ෂි ආඥාපනත පදනම් වී ඇත්තේ නීතිමය මූලධර්ම දෙකක් මතය. එකක් වන්නේ හොඳම සාක්ෂි රීතියයි. කිසියම් කරුණක් සම්බන්ධයෙන් සාක්ෂි තිබේ නම්, එය අධිකරණයට ඉදිරිපත් කළ යුතු හොඳම සාක්ෂිය විය යුතුය. මෙයින් අදහස් කරන්නේ, ලේඛනයක් සම්බන්ධයෙන්, මුල් ලේඛනය මිස පිටපතක් අධිකරණයට ඉදිරිපත් නො කළ යුතු බවයි. අනෙක් මූලධර්මය වන්නේ ඇසූ දුටු (hearsay) රීතියයි. උසාවියට දිය යුත්තේ මුල් ප්‍රකාශය පමණි. නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකු යමක් දුටුවේ නම්, එය දුටු පුද්ගලයා අධිකරණයට පැමිණ තමා දුටු දේ පැහැදිලි කළ යුතුය. තුන් වන පාර්ශ්වයකට උසාවියට පැමිණ “මේ පුද්ගලයා මේ දේවල් දැක්කා කියා මට කීවා” යයි ප්‍රකාශ කළ නොහැකියි. යම් පුද්ගලයෙක් ලේඛනයක් සාදා එහි සත්‍යතාව තහවුරු කරන්නේ නම්, එම ලේඛනය ඇත්ත වශයෙන් ම සෑදූ පුද්ගලයා අධිකරණයට පැමිණීම අපේක්ෂා කෙරේ. යම් යම් ව්‍යතිරේක ඇති නමුත් සාමාන්‍යයෙන් මෙම නීති දෙක සාක්‍ෂි නීතිය සම්බන්ධයෙන් දැඩි ලෙස පිළිපදින ලදී. වර්තමානයේ පවා, තවත් බොහෝ ව්‍යාතිරේක තිබුණ ද, මූලධර්ම එලෙසම පවතී.

මේ නිසා සාක්‍ෂි නීතියට සංශෝධන ගෙන ආ යුතු බවට කමිටුව තීරණය කළේ ය. ඉන් අනතුරුව, තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) විසින් බැංකු අංශය සහ රාජ්‍ය අංශය වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා මෙම විෂය පිළිබඳ සම්මන්ත්‍රණ සහ වැඩමුළු මාලාවක් පවත්වන ලදී. පූර්ණ සම්මුතියක් තිබිය යුතු බව මහාචාර්ය සමරනායකගේ අදහස විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මාස කිහිපයකට පසු සාක්ෂි නීතිය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතු බවට පොදු පිළිගැනීමක් ඇති විය. උපදේශන පදනම මත මෙම කාර්යය ද ධර්මවර්ධන මහතාට පවරන ලදී.

සාක්ෂි නීතිය සංශෝධනය කිරීම සහ නව ප්‍රතිපාදන හඳුන්වා දීම සඳහා පුළුල් යෝජනා සකස් කරන ලෙස කමිටුව ධර්මවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ ය. තමන් විසින් සිදු කරන ලද පර්යේෂණ සහ පරිගණක ආශ්‍රිත සාක්‍ෂිවල අවශ්‍යතාව සහ නව නීතිය යටතේ ඉදිරිපත් කළ හැකි සාක්‍ෂි පිළිබඳ ව සෑම රැස්වීමක දීම තමා කමිටුවට වාර්තා කළ බව ධර්මවර්ධන මහතා සිහිපත් කරයි. ඔහු සම්පුර්ණයෙන් ම තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුවේ මග පෙන්වීම යටතේ කටයුතු කළ අතර කමිටු සාමාජිකයින් මෙම කටයුතුවලට සක්‍රීය ව දායක විය. නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුවේ රැස්වීම් මාසිකව තොරතුරු තාක්ෂණවේද සභා (CINTEC) කාර්යාලයේ පවත්වන ලදී.

ධර්මවර්ධන මහතා විසින් සකස් කරන ලද යෝජනා කමිටුව විසින් සමාලෝචනයට භාජනය කර නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළේ ය. මෙම නිර්දේශ සාකච්ඡා කර යෝජනාවලට ඇතුළත් කරන ලද අතර විවිධ සම්මන්ත්‍රණ සහ වැඩමුළුවල දී නැවත පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, පරිගණක සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග මගින් නිපදවන තොරතුරු පිළිගැනීම පිළිබඳ මෙම යෝජනා පිළිගන්නා ලද අතර කාරක සභාව විසින් සිදු කරන ලද මෙම කටයුතුවල අවසන් ප්‍රතිඵලය වූයේ 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතයි.

නමුත් ධර්මවර්ධන මහතා පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශේෂ විධිවිධාන නීතිය සත්‍ය වශයෙන් ම සාකච්ඡාවට භාජනය කර ධනාත්මක තීරණ ගත් අවස්ථා ඉතා විරල බවයි.

පරිගණක අපරාධ පිළිබඳ නීති සම්පාදනය සඳහා වූ යෝජනා:

සාක්ෂි නීතිය පිළිබඳ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු, කමිටුව පරිගණක සහ අපරාධ යන විෂය ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළේ ය. අපරාධ නීතිය යටතේ කටයුතු කළ නො හැකි විවිධ ආකාරයේ නව ගැටලු සහ සිදුවීම් තිබිය හැකි බව කමිටුවේ අදහස විය. අපරාධ නීතිය සකස් කර තිබුණේ සාම්ප්‍රදායික ක්‍රමයටයි. එය කටයුතු කළේ භෞතික දේපළ සමගයි. එනම්, දැකීමට සහ ස්පර්ශ කිරීමට හැකි දේපළයි. එසේ නැතිනම් මිනිසෙකුට සිදු වූ තුවාලයක් හෝ හානියක් මෙම නීතියෙන් ආවරණය විය. භෞතික දේපළවලට කරන හානියට වඩා දරුණු හානි පරිගණක හරහා සිදු කළ හැකි බැවින් මුල් ගැටලුව නැවතත් මතු වූයේ ය. එබැවින් පරිගණක අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතියට සංශෝධන ගෙන ඒම හෝ නව නීතියක අවශ්‍යතාව කමිටුව විසින් හඳුනා ගන්නා ලදී.

1995 දී ජයන්ත ප්‍රනාන්දු මහතා කෝලිත ධර්මවර්ධන මහතාට හඳුන්වා දෙන ලදී. ඉන් පසුව ජයන්ත ප්‍රනාන්දු මහතා කෝලිත ධර්මවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ පරිගණක ආශ්‍රිත අපරාධ පිළිබඳ පර්යේෂණ සිදු කළේ පරිගණක භාවිතයෙන් සිදු කරන තර්ජන සහ අපයෝජනයන්ට මුහුණ දීමට පවතින අපරාධ නීතිය ප්‍රමාණවත් ද යන්න ගැන විමසා බැලීමටයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ නීතිය පිළිබඳ ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ජයන්ත ප්‍රනාන්දු මහතා අවසානයේ මෙම ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයෙකු බවට පත් වූ බව කෝලිත ධර්මවර්ධන මහතා සඳහන් කරයි.

තොරතූරු තාක්ෂණවේද සභාවේ (CINTEC) මෙම විශේෂිත ව්‍යාපෘතියේ අරමුණ වූයේ පරිගණක අපරාධ පිළිබඳ නීති සම්පාදනය සඳහා යෝජනා සකස් කිරීමයි. මේ සඳහා නීතියේ හිඩැස් හඳුනා ගැනීම සහ පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් නව නෛතික මූලධර්ම සකස් කිරීම අවශ්‍ය විය. තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) වසා දැමීමෙන් පසු, එහි අනුප්‍රාප්තිකයා වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම කාර්යය භාර ගන්නා ලදී. එහි අධ්‍යක්ෂ/නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත ප්‍රනාන්දු මහතාගේ විෂය පථයට මෙම කාර්යය අයත් විය. ඉන් පසුව, 2007 මැයි මාසයේ දී 2007 පරිගණක අපරාධ පනත නීතියක් ලෙස සම්මත කර ගන්නා ලදී. තොරතුරු අනවසරයෙන් වෙනස් කිරීම, වෙනස් කිරීම හෝ මකා දැමීම සහ ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම මෙම නීතිය මගින් වරදක් බවට පත් කර තිබේ. බලයලත් පුද්ගලයින්ට ප්‍රවේශය ලබා ගැනීම වැළැක්වෙන ආකාරයට පරිගණකය ක්‍රමලේඛනය කිරීම ද වරදක් වේ. වයිරස් සහ තාර්කික බෝම්බ ආදිය ඇතුල් කිරීමෙන් පරිගණකයට හානි කිරීම හෝ අවැඩක් කිරීම, තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම, පරිගණක සේවා අනවසරයෙන් භාවිතා කිරීම සහ පරිගණක ක්‍රමලේඛයක්, දත්ත හෝ තොරතුරු එක් පරිගණකයකින් තවත් පරිගණකයකට සම්ප්‍රේෂණය වන විට බාධා කිරීම ආදිය අනිකුත් නීති විරෝධී ක්‍රියාවන් වේ.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිළිබඳ නීති සම්පාදනය සඳහා යෝජනා:

නීතියේ මෙම විෂය පථය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගත් කමිටුව, මෙම ගැටලුව විසඳීමට අනුකමිටුවක් පත් කරන ලදී. මෙම කාර්යය ද අවසානයේ ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) පැවරුණු අතර ජයන්ත ප්‍රනාන්දු මහතා එම කටයුතුවල නිරත විය. මෙම කාර්යය අවසන් වූයේ 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත බලාත්මක කිරීමෙන් බව ධර්මවර්ධන මහතා සඳහන් කරයි. මෙම පනතට පදනම් වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ (UNCITRAL) ඉ-වාණිජ්‍යය පිළිබඳ ආදර්ශ නීතිය (1996) සහ විද්‍යුත් අත්සන් පිළිබඳ ආදර්ශ නීතිය (2001) ) විසින් ස්ථාපිත කරන ලද ප්‍රමිති වේ.

බොහෝ ක්‍රියාවලි සහ රීති ප්‍රායෝගික ගැටලු බව ධර්මවර්ධන මහතා අවසාන වශයෙන් සටහන් කරයි. නීතියට අනුගත වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට ආ පස්සට යා නො හැකි බව ද ඔහු පෙන්වා දෙයි. එබැවින් කෘත්‍රිම බුද්ධිය ඇතුළු තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සමග මතුව ඇති විවිධ තත්ත්වයන් සහ මිනිසාගේ මැදිහත් වීමකින් තොර ව පරිගණක මගින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම්වලට අනුගත වීමට නීතිය ඉදිරියට යා යුතු ව ඇත.