චන්න ද සිල්වා මහතා ලංකා ක්ලියර් (LankaClear) සමාගමේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරි වේ. ශ්‍රී ලංකාවේ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ චන්න ද සිල්වා මහතා නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විද්යුත් හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී හා විද්‍යාපති උපාධි ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි ආචාර්ය ප්‍රභාත් සමරතුංග, චන්න ද සිල්වා මහතාට හමු වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටි කාලයේයි. 1995 දී ආපසු ලංකාවට පැමිණි චන්න ද සිල්වා මහතා, ලංකාවේ පළමුවැනි අන්තර්ජාල සමාගම වූ ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිටුවීමටත් පළමුවැනි වාණිජ ඉ-තැපැල් සේවාව, sri.lanka.net, ආරම්භ කිරීමටත් සහාය විය. ශ්‍රී ලංකාවේ පළමුවැනි වාණිජ වෙබ් අඩවිය (www.lanka.net) නිර්මාණය කළේ මේ සමාගම වන අතර එය තවමත් ක්‍රියාත්මකව පවතී. පළමුවැනි වරට ‘ඩේලි නිව්ස්‘ හා ‘සන්ඩේ ඔබ්සර්වර්‘ පුවත්පත්, මාර්ග ගත පුවත්පත් ලෙස ලබා දුන්නේ ද මෙම සමාගමයි. පළමුවැනි මාර්ග ගත ගුවන් විදුලි මධ්‍යස්ථානය වු ‘ටීඑන්එල් රේඩියෝ’ සඳහා පහසුකම් සැපයූවේ ද ලංකා ඉන්ටර්නෙට් සමාගමයි. විවෘත මූලාශ්‍ර (Open Source) ක්ෂේත්‍රයේ මෙන් ම මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගමේ සේවය කර ඇති චන්න ද සිල්වා මහතා පසුව අයිබීඑම් සමාගමට බැඳුණේය.
චන්න ද සිල්වා ඉන් පසුව එක් වූයේ ලංකා ක්ලියර් (LankaClear) සමාගමටයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව හා බලපත්‍ර ලත් වාණිජ බැංකුවලට අයිති සමාගමකි. 2002 වර්ෂයේ දී මෙම සමාගම ඒ වන විට මහ බැංකුව විසින් සිදු කළ ශ්‍රී ලංකාවේ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය ස්වයංකෘත කිරීම ආරම්භ කළේය. ලංකා ක්ලියර් සමාගම ආරම්භ කළ අනිත් සේවාව වූයේ එක් දින මුදල් හුවමාරුවට ඉඩ ලබා දුන් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියයි (SLIPS). මෙම සමාගම තැබූ තවත් වැදගත් පියවරක් වූයේ ලංකා පේ (Lanka Pay) නම් පොදු ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ස්විචයයි. දැන් ලංකා ක්ලියර් තුළින් සියලු ම බැංකු හා ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර 98%ක්ම සම්බන්ධ කර තිබේ. ලංකා ක්ලියර් සමාගමේ මූලික අරමුණ වූයේ සියලු මූල්‍ය කටයුතු එක්තැන් කිරීමත් සුරක්ෂිත ආකාරයකට තාක්ෂණය මත පදනම් වූ ගෙවීම් ක්‍රම ග්‍රාමීය පෙදෙස්වලට ගෙන යෑමත් ය.
කෙටි වීඩියෝව
සම්පූර්ණ වීඩියෝව
චන්න ද සිල්වා මහතා ලංකා ක්ලියර් සමාගමේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරි වේ. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාවේ රාජකීය විද්‍යාලයේ යි. පසුගිය අසූවේ දශකයේ අග භාගයේ දී රටේ පැවති කලබලකාරී තත්වය නිසා විශ්ව විද්‍යාල වසා දමා තිබුණි. මේ නිසා චන්න ද සිල්වා, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ නිව්යෝර්ක් හි බෆලෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් වන අතර ඔහු එහි දී විද්යුත් හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාවෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය.
උපාධිය සම්පූර්ණ කරන කාලයේ එක්සත් ජනපද තැපැල් සේවය සඳහා විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකට චන්න ද සිල්වා මහතා සම්බන්ධ විය. මෙහි දී සිදුවුයේ ප්‍රකාශ අනු ලක්ෂණ සංජානන (optical character recognition) ක්‍රම යොදා ගනිමින් ලියුම්වල ලිපින ස්කැන් කර තීරු කේතයකට පරිවර්තනය කිරීමයි. (අවුරුදු ගණනාවකට පසු සිංහල අක්ෂර සඳහා මෙම ක්‍රමය යොදා ගැනීමට ඔහු පර්යේෂණ කළේය.) ඉන් පසු චන්න ද සිල්වා මහතාගේ අවධානය යොමු වූයේ සන්නිවේදන අංශයටයි. ඔහුගේ අවසන් අවුරුද්දේ ව්‍යාපෘතිය වූයේ KA9Q වේදිකාවකින් නොවෙල් ජාලාංගවලට (Novell Netware) ප්‍රවේශ වීමයි. විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ නොවෙල් ජාලය ක්‍රියාත්මක කිරීමට ද ඔහු සම්බන්ධ විය. සන්නිවේදන ක්ෂේත්‍රයේ ඔහුගේ මුල් අත්දැකීම වූයේ එයයි.
ලංකා ඉන්ටර්නෙට්
ලංකාවේ අන්තර්ජාල සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි ආචාර්ය ප්‍රභාත් සමරතුංග, චන්න ද සිල්වා මහතාට හමු වූයේ චන්න ද සිල්වා ශාස්ත්‍රපති උපාධියේ කටයුතු කරමින් සිටින අතරයි. මෙම සමාගම යටතේ කළ මුල් ම ව්‍යාපෘතිය වූයේ සමාගමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි. ලංකාවේ පළමුවැනි වාණිජ වෙබ් අඩවිය එය යි. ඒ 1994 වර්ෂයේය. මෙම වෙබ් අඩවියේ (www.lanka.net) අයිතිය වෙනස් වන්නට ඇති නමුත් එය තවමත් ක්‍රියාත්මක තත්වයේ පවතී.
1995 වර්ෂයේ ආපසු ලංකාවට පැමිණි චන්න ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ මුල් අන්තර්ජාල සමාගම වූ ලංකා ඉන්ටර්නෙට් සමාගම මෙන් ම පළමුවැනි වාණිජ ඉ-තැපැල් සේවාදායකය වූ sri.lanka.net ස්ථාපිත කිරීමටත් සහාය විය. මේ සඳහා භෞතික සම්බන්ධතාව ලබා දුන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි. මෙම සේවාව දියත් කරන ලද්දේ 1995 අප්‍රේල් මාසයේයි. අන්තර්ජාලයට පිවිසීම පෙන්වන ලද්දේ අක්වටන සබඳතාවක් (Dial-up connection) තුළින් ආචාර්ය ආතර් සී ක්ලාක්ගේ වෙබ් අඩවියට පිවිසීමෙනි. 1995 මැයි මාසයේ කැපවූ (dedicated) දුරකථන මාර්ගයක් ලබා ගත් මෙම සමාගම, ඔවුන්ගේ පළමුවැනි ඉ-තැපැල් පණිවුඩය යැවීමට සමත් විය. චන්න ද සිල්වා මහතා කියා සිටියේ මීට කලින් විශ්ව විද්‍යාල ඉ-තැපෑල භාවිතයට ගත් බවයි.
පළමු වැනි මාර්ග ගත පුවත් පත් හා ගුවන් විදුලි මධ්‍යස්ථානය.
ලංකා ඉන්ටර්නෙට් සමාගම තැබූ එක් වැදගත් පියවරක් වූයේ ශ්‍රී ලංකාවේ පළමු වරට මාර්ග ගත පුවත්පතක් ලබා දීමයි. මේ අනුව ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) “ඩේලි නිව්ස්” හා “සන්ඩේ ඔබ්සර්වර්” යන පුවත්පත් මාර්ග ගතව ලබා ගත හැකි වූයේය. පළමුවැනි මාර්ග ගත ගුවන් විදුලි නාලිකාව වූ ‘ටීඑන්එල් රේඩියෝ’ සඳහා පහසුකම් සැපයූවේත් ලංකා ඉන්ටර්නෙට් සමාගමයි
.
ලංකා ඉන්වර්නෙට් සමාගම ආරම්භ කරන ලද්දේ ඉතා කුඩා මෙහෙයුමක් ලෙස බව චන්න ද සිල්වා මහතා සිහි කරයි. මෙම කුඩා කණ්ඩායමට බොහෝ තාක්ෂණික ගැටලු විසඳීමට සිදු වූයේය. නවීන උපකරණ ඔවුන් සතු නොවූවත් නව තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පළමු වයි-ෆයි ජාලය පිහිටුවීමට ද ඔවුන් සමත් විය. ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලයෙන් දුරකථන පහසුකම් ((VOIP) සැපයීමේ පුරෝගාමීන් වූයේ ද මෙම සමාගමයි.
විවෘත මූලාශ්‍ර (Open Source), මයික්‍රොසොෆ්ට් හා අයිබීඑම්
ඊළඟට චන්න ද සිල්වා මහතාට අවශ්‍ය වූයේ විවෘත මූලාශ්‍ර ව්‍යාපාරය සමග අත්හදා බැලීම් කිරීමටයි. ඔහුගේ අරමුණ වූයේ පරිශීලක මිත්‍රශීලී අතුරු මුහුණත් ගොඩ නැගීමයි. මේ සඳහා සමාගමක් ආරම්භ කළ ඔහු ඒ මගින් විවෘත මූලාශ්‍ර පදනම් විවිධ සේවාවන් ලබා දුන්නේය. ඊළඟට ඔහු සම්බන්ධ වූයේ මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගමටයි. එම සමාගමේ සේවය කරද්දී ඔහු සම්බන්ධ වූ ඉතා වැදගත් ව්‍යාපෘතියක් වූයේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමග එක්වී Windows Vista සහ MS Office 2007 සඳහා සිංහල පරිශීලක අතුරුමුහුණතක් සකස් කිරීමයි. මෙය භාෂා අතුරුමුහුණත් කට්ටලය (LIP) ලෙස හඳුන්වන ලද අතර ඒ සඳහා බොහෝ වචන හා වාක්‍ය ඛණ්ඩ ඉංග්‍රිසියෙන් සිංහලට පරිවර්තනය කිරීමට සිදු විය. ඊළඟට අයිබීඑම් සමාගමට එක්වු ඔහුගේ වගකීම වූයේ ඔවුන්ගේ මෘදුකාංග ව්‍යාපාරයයි.
ලංකා ක්ලියර් (LankaClear)
ඉන් පසු චන්න ද සිල්වා මහතා සම්බන්ධ වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව හා බලපත්‍ර ලත් සියලුම වාණිජ බැංකුවලට අයිති ලංකා ක්ලියර් සමාගමටයි. 2002 වර්ෂයේ දී මෙම සමාගම පිහිටුවන ලද්දේ එතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය ස්වයංකෘත කිරීම සඳහායි. ලංකා ක්ලියර් සමාගම ආරම්භ කළ වෙනත් සේවා අතර එක් දින මුදල් හුවමාරුවට පහසුකම් සැපයූ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ද (SLIPS) වේ. මේ මගින් එක් බැංකුවක ගනුදෙනුකරුවෙකුට තවත් බැංකුවක ගනුදෙනුකරුවෙකුට ඕනෑම දවසක පැය විසිහතර පුරාම තත්පර කීපයක් තුළ මුදල් යැවිය හැකි වේ. චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ උදාහරණයක් වශයෙන් ලංකා බැංකුවේ ගනුදෙනුකරුවෙකුට ඔහුගේ හෝ ඇගේ අන්තර්ජාල සබඳතාව තුළින් මධ්‍යම රාත්‍රියේ වුවත් වෙනත් ගිණුමකට මුදල් යැවිය හැකි බවයි.
තවත් ඉතා වැදගත් පියවරක් වූයේ පොදු ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ජාලයක් ස්ථාපිත කිරීමයි. එක බැංකුවකට මුළු රට ම ආවරණය වන පරිදි ටෙලර් යන්ත්‍ර සවි කළ නොහැක. මේ නිසා මහ බැංකුවට අවශ්‍ය වූයේ පළමුවෙන් රාජ්‍ය බැංකු, පොදු ටෙලර් යන්ත්‍ර ස්විචයකට සම්බන්ධ කිරීමයි. මේ අනුව එක් බැංකුවක ගනුදෙනුකරුවෙකුට තවත් බැංකුවක ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ලබා ගත හැකි විය. මේ අනුව “ලංකා පේ” (Lanka Pay) නමින් හැඳින්වූ පොදු ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ස්විචය, ලංකා ක්ලියර් සමාගම විසින් ස්ථාපිත කරන ලදී. පසුව මෙය අන් සියලු ම බැංකුවලට ව්‍යාප්ත කරන ලද අතර දැන් ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර 98%ක්ම ලංකා ක්ලියර් තුළින් මෙම ජාලයට සම්බන්ධ කර තිබේ.
චන්න ද සිල්වා මහතා කියා සිටියේ ඊළඟ පියවර වන්නේ දුරකථන පදනම් ගෙවීම් විප්ලවයක් ආරම්භ කිරීම බවයි. මෙයට අමතරව අලෙවි ස්ථානවල ඇති (POS) යන්ත්‍රවල භාවිතා කළ හැකි ලංකා පේ සන්නාමය සහිත දේශීය කාඩ්පතක් නිකුත් කිරීමට ද අපේක්ෂා කෙරේ. මෙම කාඩ්පත විදේශවල භාවිතා කළ හැකි ආකාරයට ජාත්‍යන්තර කාඩ් සමාගම් සමග එක් ව කටයුතු කිරීමට ද ලංකා ක්ලියර් සමාගම බලාපොරොත්තු වේ. මේ මගින් බැංකුවල පිරිවැය අඩු කිරීමටත් විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් හැකි වනු ඇත.
චන්න ද සිල්වා මහතා පැහැදිලි කළේ ලංකා ක්ලියර් සමාගමේ මූලික අරමුණ වූයේ සියලු මූල්‍ය කටයුතු එක්තැන් කිරීමත්, සුරක්ෂිත ආකාරයකට තාක්ෂණය මත පදනම් වූ ගෙවීම් ක්‍රම ග්‍රාමීය පෙදෙස්වලට ගෙන යෑම බවත් ඔවුන් දැන් මෙම අරමුණට ළඟා වෙමින් සිටින බවත් ය.