වසන්ත දේශප්‍රිය මහතා

වසන්ත දේශප්‍රිය මහතා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල අමාත්‍යංශයේ ලේකම් වේ. ඔහු අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝඛ විද්‍යාලයේ හා කැලණිය විශ්ව විද්‍යාලයේයි. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගෙන ඇති ඔහු එක්සත් රාජධානියේ රෙඩින් (Reading) විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන තිබේ. වසන්ත දේශප්‍රිය මහතා අවුරුදු 30කට වැඩි රාජ්‍ය අංශයේ අත්දැකීම් ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකි. ඔහු රජයේ පරිගණකගත කිරීමේ ව්‍යාපෘතිවලට බෙහෙවින් සම්බන්ධ වී තිබේ.

මුලින් ම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළ දේශප්‍රිය මහතා එහි කලාපීය කාර්යාලවල තොරතුරු තාක්ෂණ ඒකක භාර ව කටයුතු කළේය. 1985 සිට 1994 දක්වා ඔහු රබර් නැවත සිටුවීමේ හා සහනාධාර වැඩසටහන පරිගණකගත කිරීමේ කටයුතුවලට සම්බන්ධ විය. 1998 දී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (තොරතුරු තාක්ෂණ) ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට සම්බන්ධ වූ දේශප්‍රිය මහතා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුන්වා දීමේ දී පුරෝගාමි කාර්ය භාරයක් ඉටු කළේය. මේ අනුව පළමුවැනි වරට මුළු මහත් රාජ්‍ය අංශයට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, ඉ-තැපැල් පණිවුඩ ලෙස යවන ලද අතර ඒවා අමාත්‍යංශ වෙබ් අඩවියේ ද පළ කරන ලදී. 1998 දී අමාත්‍යංශයේ පළමු වෙබ් අඩවිය නිර්මාණය කරන ලද්දේ දේශප්‍රිය මහතා නායකත්වය දුන් කණ්ඩායමක් විසිනි. 2003 දී ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) බැඳුණ අතර 2005 දී රාජ්‍ය අංශය ප්‍රති-නිර්මාණය කිරීමේ අධ්‍යක්ෂ තනතුරට උසස් වීමක් ලැබුණි. දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළ පුද්ගලයෙක් විය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

 

වර්තමානයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වන වසන්ත දේශප්‍රිය මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙක් වේ. විශ්ව විද්‍යාලයේ කෙටි කලක් සේවය කිරීමෙන් පසු ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළු විය.

දේශප්‍රිය මහතා පරිපාලන සේවයට බැඳුණු පසු පළමු පත්වීම ලැබුණේ රබර් පාලන දෙපාර්තමේන්තුවේයි. ඒ වන විට රබර් ඉඩම් ලියා පදිංචි කිරීමේ හා සහනාධාර ගෙවීම් පරිගණකගත කිරීමේ ව්‍යාපෘතියක් දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබුණි. ඔහු වැඩට ගිය පළමු දිනයේ ම මෙම ව්‍යාපෘතියේ අවශ්‍යතා හා දියුණු කළ යුතු විසඳුම පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වන ලෙස ඔහුට ආරාධනයක් ලැබුණි. එදා සිට දේශප්‍රිය මහතාට රටේ රබර් වගා කරන විවිධ ප්‍රදේශවල සේවය කිරීමට සිදු විය. ඔහු වැඩ කළ සෑම උප කාර්යාලයක ම පරිගණක ඒකකය ක්‍රියාත්මක වූයේ ඔහු යටතේයි. රබර් පාලන දෙපාර්තමේන්තුවේ තිබුණේ වෑං මිනි (Wang Mini) පරිගණක වන අතර ඒවායේ යොදා ගත්තේ කොබෝල් (COBOL) භාෂාවයි.

වසන්ත දේශප්‍රිය මහතා තායිලන්තයේ තාක්ෂණය පිළිබඳ ආසියානු ආයතනයේ පුහුණුව ලබා ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හිමි කර ගෙන තිබේ.
ඉන් පසු දේශප්‍රිය මහතා වඩා පුළුල් විෂය පථයක් ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට සම්බන්ධ විය. එහි තොරතුරු තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස ඔහු පත් කරන ලදී. මෙහි දි කඩදාසි මත පදනම් වූ ක්‍රියාමාර්ගවලින් විසඳිය නො හැකි අභියෝග ගණනාවකට ඔහු මුහුණ දුන්නේ ය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ භාෂා තුනෙන් ම මුද්‍රණය කර විවිධ ආයතන හා කාර්යාලවලට තැපෑලෙන් යවන ලද අතර මේ සඳහා සේවකයන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය විය. 1998 වර්ෂයේ දී මෙම චක්‍රලේඛ ලේකම්වරයාගේ පරිලෝකිත (scanned) අත්සන සමග පරිගණක (pdf) ආකෘතියක් ලෙස ඉ-තැපෑලෙන් යවන ලදී. අමාත්‍යංශය මුහුණ පෑ තවත් ගැටලුවක් වූයේ පැරණි චක්‍රලේඛ සොයා ගැනීමයි. දේශප්‍රිය මහතා මෙම ගැටලුව එක්තරා සිද්ධියකින් විස්තර කරන්නේ මෙසේයි. වාලච්චේන කඩදාසි කම්හලෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි පුද්ගලයෙක් ඔහුගේ වැටුප නියමිත ආකාරයට සකස් කර ගැනීම සඳහා අවශ්‍ය විශේෂ චක්‍රලේඛයක් සොයා කොළඹට පැමිණියේ ය. එම නිවැරදි කිරීමෙන් තොර ව ඔහුට ලැබුණු ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් නොවීය. අවාසනාවකට දේශප්‍රිය මහතාට මෙම චක්‍රලේඛය සොයා ගත නො හැකි විය. මෙම සිද්ධිය නිසා 1970 වර්ෂයේ සිට අමාත්‍යංශය නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ පරිලෝකනය කර අංක ගත කර, සූචි ගත කර අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කිරීමට දේශප්‍රිය මහතා ක්‍රියා කළේ ය. ඔහු කියා සිටියේ ඉ-රාජ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මාර්ග සිතියමක් මෙන් ම මූලෝපායක් අවශ්‍ය බවයි.

මෙම කාලය තුළ ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව විසින් ස්වීඩනය හා එස්තෝනියාවට සංවිධානය කළ ඉ-රාජ්‍ය පිළිබඳ අධ්‍යයන චාරිකාවක් සඳහා ඔහු තෝරා ගන්නා ලදී. ජාතික මට්ටමේ ක්‍රියාත්මක වන ඉ-රාජ්‍ය මූලෝපායන් ගැන මෙම චාරිකාවේ දී දේශප්‍රිය මහතාට අවබෝධයක් ලබා ගත හැකි විය.

දේශප්‍රිය මහතා ඉන් පසු අලුතෙන් ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පළ කර තිබුණ පුවත්පත් දැන්වීමකට අනුව එහි රැකියාවකට ඉල්ලුම් කළේ ය. මෙම ආයතනය විසින් ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය (e-SL) ක්‍රියාත්මක කරන ලදී. පළමුවෙන් ඉ-රාජ්‍ය විශේෂඥයෙක් ලෙස ඉ-රාජ්‍ය අංශයට පත් කරන ලද දේශප්‍රිය මහතා පසුව ඉ-රාජ්‍ය අංශයේ අධ්‍යක්ෂ තනතුරුට උසස් කරන ලදී. පවතින තත්වය ඇගයීමත් ඉදිරි ගමන් මාර්ගය සැලසුම් කිරීමත් සඳහා රජයේ ආයතන පිළිබඳ සමීක්ෂණයක් 2004 දී පවත්වන ලදී. එහිදී පෙනී ගියේ රජයේ වෙබ් අඩවි ඇත්තේ 14ක් පමණක් බවයි. මේ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන බාධකය, හැකියා ඇති පුද්ගලයන්ගේ හිඟය හා මේ පිළිබඳ දැනුවත් නො වීම බව මෙහි දී පෙනී ගියේ ය. රජයේ ආයතනවල යොදා ගත් ක්‍රියාමාර්ග ද ගැටලු සහගත විය. තොරතුරු තාක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීමට පෙර මේවා ප්‍රති-නිර්මාණය කළ යුතු විය. මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉ-රාජ්‍ය අංශය “රජය ප්‍රති-නිර්මාණය කිරීම“ ලෙස නම් කරන ලදී.

දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සේවය කළ කාලය තුළ ක්‍රියාත්මක කළ ප්‍රධාන ව්‍යාපෘති පහත දැක්වේ.

ප්‍රධාන රජයේ ආයතන සියල්ල ම හා මුළු රට ම ආවරණය වන පරිදි ලංකා රාජ්‍ය ජාලය (LGN) ස්ථාපිත කරන ලදී. රජයේ තොරතුරු මධ්‍යස්ථානය (GIC-1919) රාජ්‍ය තොරතුරු ලබා දෙන මධ්‍යගත ස්ථානයක් විය. මේ මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් කාලයක් තිස්සේ මුහුණ පෑ ප්‍රශ්නයක් විසඳුණි. රජයේ තොරතුරු මධ්‍යස්ථානය ස්ථාවර දුරකථන, අන්තර්ජාලය (www.gic.gov.lk) ජංගම දුරකථන ආදි විවිධ මාර්ග යොදා ගනිමින් තොරතුරු සපයයි. උපත්, විවාහ හා මරණ සහතික පරිගණකගත කිරීම නිසා දැන් ශ්‍රී ලංකාවේ ජනතාවට කාර්යක්ෂමව මෙන් ම පහසුවෙන් ඒවා ලබා ගත හැකිවේ.
ලංකා ද්වාරය (Lanka Gate) ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික තොරතුරු හා ඉලෙක්ට්‍රොනික අන්තර්ක්‍රියා සඳහා වු දොරටුවයි. මෙම දේශ පොර්ටලය (www.lk හෝ www.srilanka.lk) රජයේ ආයතන හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා ප්‍රධාන ප්‍රවේශ ස්ථානයක් වේ. යුනිකෝඩ් ප්‍රමිතියට අනුකූල ත්‍රි-භාෂා වෙබ් අඩවි 495ක් දියුණු කිරීමෙන් හා වෙබ් අඩවි පවත්වා ගැනීම හා ඒවායේ අන්තර්ගතය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමෙන් අන්තර්ජාලය තුළ රජයේ විද්‍යාමානතාව වැඩි දියුණු කරන ලදී. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපෘති කළමනාකරණය හා සමෘද්ධි ප්‍රතිලාභින් කළමනාකරණය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් ලබා දුන් ඉ-සමෘද්ධිය තුළින් සමෘද්ධි අධිකාරියේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි දියුණු කරන ලදී.

ලංකා අන්තර් ක්‍රියාකාරි රාමුව (LIFe) මගින් තොරතුරු පද්ධති සඳහා දත්ත, තාක්ෂණික හා ක්‍රියාවලි ප්‍රමිති නිශ්චිත වශයෙන් දක්වන ලදී. තෝරා ගත් දත්ත වසම් සඳහා ප්‍රමිති ඉදිරිපත් කරන ලද්දේ විවිධ තොරතුරු පද්ධති අතර අන්තර් ක්‍රියාකාරි බව තහවුරු කිරීමටයි. මෙම යෙදුම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් සකස් කරන ලද අතර තොරතුරු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ඉදිරිපත් කරන ලදී.

රජයේ සේවා සඳහා ණය පත් හා වෙනත් ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම (ජංගම දුරකථනවලින් ගෙවීම් ඇතුළු) භාවිතයට ගැනීමට හැකි වන සේ මූල්‍ය රෙගුලාසි (FR 447/2010) සකස් කිරීමට මුදල් අමාත්‍යංශය සමග එක්ව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය. මේ අනුව ඉ-ආදායම් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී.

ඉ-රාජ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ධාරිතා ගොඩනැගීම අවශ්‍ය විය. රජය ප්‍රති-නිර්මාණය කිරීම හා ඉ-රාජ්‍ය පද්ධති හඳුන්වා දීම වැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ආයතනවල ඉ-නායකත්ව හැකියාවන් තිබීම අත්‍යවශ්‍ය වූයේය. මේ නිසා රජයේ ආයතන තුළ දැනුවත් බව වැඩි කිරීම හා ප්‍රධාන නවීකරණ නිලධාරීන් පුහුණු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉ-පාලනය පිළිබඳ අර්ධ කාලීන දෑ-අවුරුදු ශාස්ත්‍රපති (MBA) පාඨමාලාවට ජ්‍යෙෂ්ඨ හා මධ්‍යම මට්ටමේ රාජ්‍ය නිලධාරීන් යවන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ඉ-පාලනය පිළිබඳ පළමුවැනි ශාස්ත්‍රපති (MBA) පාඨමාලාවයි. ඉ-රාජ්‍ය පද්ධති පාලනයටත් කළමනාකරණයටත් අවශ්‍ය දක්ෂතා රාජ්‍ය අංශයට ලබා දීම සහතික කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට මූලික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා හා තාක්ෂණික පුහුණුව ලබා දීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මානව සම්පත් සංවර්ධන වැඩසටහන යටතේ රජයේ නිලධාරීන් 15,000 වැඩි ප්‍රමාණයකට මූලික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා හා නායකත්ව කුසලතා ලබා දීමේ පුහුණු වැඩසටහන් පවත්වන ලදී.

දේශප්‍රිය මහතා වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වූයේ 2004/5 කාලයේ බවයි. මෙය පුළුල් සාකච්ඡා මත පදනම් වූ ක්‍රියාවලියක් විය. 2009 වර්ෂයේ දී කෙටුම්පත් ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. සියලු කටයුතු සිදු කරන ලද්දේ සාකච්ඡාමය ක්‍රියාවලියක් තුළින් බව දේශප්‍රිය මහතා අවධාරණය කරයි. වර්ෂ 2004 සිට 2014 දක්වා වූ කාලය තුළ බොහෝ අභියෝගයන්ට මුහුණ දුන් අතර මේ සඳහා මාර්ග සිතියමක් පිළියෙළ කරන ලදී. මෙම මාර්ග සිතියමේ තිබූ බොහෝ ඉලක්ක ළඟා කර ගත හැකි විය. එක්සත් ජාතීන්ගේ ඉ-රාජ්‍ය සංවර්ධන දර්ශකයට (EGDI) අනුව 2012 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තිබුණේ රටවල් 193කින් 115 වැනි ස්ථානයේ වුවත් 2014 වන විට 74වැනි ස්ථානයට පැමිණි බව මෙහිලාැ සඳහන් කළ යුතුය. මෙය ප්‍රතිශතමස්ථන අනුව 38.5%කි. මේ අනුව ලෝකයේ ඉ-රාජ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළම 40%ට අයත් වුනි.