මහාචාර්ය මොහාන් මුණසිංහ

පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ ප්‍රමුඛ ආයතනය ලෙස 1984 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භක සභාපතිවරයා වුයේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතායි. පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ (COMPOL, 1982-83) සභාපති ලෙස කටයුතු කරමින් පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව නිර්මාණය කිරීමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ ඔහු 1984 අංක 10 දරණ පනත කෙටුම්පත් කිරීමට ද සහාය විය. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ බලශක්ති උපදේශක (1982-86), විදුලි සංදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ සාමාජික (1984-85), නවීන තාක්ෂණය සඳහා වූ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සමාරම්භක පාලක හා ශ්‍රී ලංකා ස්වාභාවික සම්පත්, බලශක්ති හා විද්‍යා අධිකාරියේ (NARESA) ආරම්භක මහා මණ්ඩල සාමාජික ලෙස ඔහු අදාළ ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරි ලෙස කටයුතු කර තිබේ.

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය හා කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලය හා කොන්කෝඩියා විශ්ව විද්‍යාලය ආදියෙන් ඔහු ඉන්ජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව හා සංවර්ධන ආර්ථික විද්‍යාව ආදිය සම්බන්ධයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් ලබාගෙන තිබේ. ගෞරව ආචාර්ය උපාධි ගණනාවක් ලැබී ඇති මහාචාර්ය මුණසිංහ තිරසාර සංවර්ධනය, දේශගුණ විපර්යාස, බලශක්තිය, ආර්ථික විද්‍යාව, පරිසරය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති ආදිය පිළිබඳ ලෝක විශේෂඥයෙක් ලෙස සැලකේ. පොත් 100ක් හා තාක්ෂණික ලිපිලේඛන 350කට වඩා ලියා ඇති ඔහු පර්යේෂණ සඳහා ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා ගෙන තිබේ. මේ අතර වඩාත් ම වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ උප සභාපති ලෙස 2007 සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය හවුලේ දිනා ගැනීමයි. අන්තර්ජාතික විද්‍යා ආයතන ගණනාවක අධි සාමාජිකයෙක් වන ඔහු වෘත්තීය ප්‍රකාශන 15ක පමණ සංස්කාරක මණ්ඩලවල සේවය කරයි.

ඔහු දැනට ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටුවා ඇති සංවර්ධනය සඳහා වු මුණසිංහ ආයතනයේ (MIND) ආරම්භක සභාපතිවරයා වන අතර 2030 තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා වූ මූලෝපායික සැලසුම පිළියෙල කරන ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ද වෙයි. රාජ්‍ය සේවයේ ගත කළ පසුගිය අවුරුදු 50 තුල ලබා ඇති වෘත්තීය ජයග්‍රහණ අතර පරිසරයේ ගුණාත්මක භාවය පිළිබඳ එක්සත් ජනපද ජනාධිපතිගේ මණ්ඩලයේ උපදේශකයෙක් ලෙස කටයුතු කිරීම හා ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් /කළමනාකරුවෙක් ලෙස කටයුතු කිරීම ද වෙයි. ලෝකයේ රටවල් 90ක පමණ ක්‍රියාත්මක කර ඇති විවිධ ව්‍යාපෘතිවල සෘජු ක්ෂේත්‍ර අත්දැකීම් ඇති ඒ මහතා ලොව පුරා ඇති ප්‍රධාන විශ්ව විද්‍යාල ගණනාවක බාහිර මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් අනුමත කළ තිරසාර සංවර්ධන ඉලක්ක හා පැරිස් දේශගුණ ගිවිසුම වැනි ගෝලීය ප්‍රතිපත්ති ගණනාවකට එතුමා සෘජු දායකත්වයක් ලබා දී තිබේ.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මුල් යුගයේ ඉතිහාසය

ආරම්භය

හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ අවධානය පරිගණකවලට යොමු වූයේ අහඹු සිදුවීමකිනි. එවකට ශ්‍රී ලංකා ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ බලශක්ති උපදේශක ලෙස කටයුතු කළ මහාචාර්ය මොහාන් මුණසිංහ, මුල් සතිපතා රැස්වීමට පිටු තුනක සටහනක් ඉදිරිපත් කළේ ය. මෙය දුටු ජනාධිපති තුමා පේළි දෙකකට නිර්දේශ සාරාංශ ගත කර පිටු භාගයක සටහනක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. මහාචාර්ය මුණසිංහ තම ටැන්ඩි රේඩියෝ ෂැක් (TRS 80) පරිගණකය හා එප්සන් තිත් න්‍යාස මුද්‍රකය (ඒ වන විට මේ දෙකම ශ්‍රී ලංකාවට අලුතෙන් හඳුන්වා දුන් උපකරණ විය) යොදා ගනිමින් පැය භාගයක් ඇතුළත ජනාධිපති තුමා ඉල්ලා සිටි ආකාරයට ලේඛනය සකස් කර දුන්නේ ය.

මෙයින් විස්මයට පත් ජනාධිපතිතුමා “අප මෙම තාක්ෂණය ගැන වැඩිපුර දැන ගත යුතුය“ යි කියමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටියේ ය. මහාචාර්ය මුණසිංහ ඉදිරිපත් කළ කෙටි වාර්තාවේ ප්‍රතිඵලය වූයේ ජාතික පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ විශේෂ ජනාධිපති කමිටුව පිහිටුවීමයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රජයේ මැදිහත් වීම ආරම්භ වුයේ එසේයි.

ශ්‍රී ලංකාවේ ජාතික පරිගණක ප්‍රතිපත්තිය (COMPOL)

ජාතික පරිගණක ප්‍රතිපත්තිය සඳහා මාර්ග නිර්දේශ සකස් කිරීම පිළිබඳ කමිටුව (COMPOL) පිහිටුවන ලද්දේ ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත, ස්වාභාවික සම්පත්, බලශක්ති හා විද්‍යා අධිකාරිය (NARESA) විසිනි. එය පුළුල් අත්දැකීම් හා විශේෂඥ දැනුම සහිත විශිෂ්ට පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක් විය. මහාචාර්ය මොහාන් මුණසිංහ එහි සභාපති වූ අතර මහාචාර්ය වි. කේ. සමරනායක, ආචාර්ය ආර්. බී. ඒකනායක, ආචාර්ය එන්. ඩබ්ලිව්. එන්. ජයසිරි, මහාචාර්ය එස්. කරුණාරත්න හා ආචාර්ය අජිත් කනකසුන්දරම් සෙසු සාමාජිකයන් වූහ. ස්වාභාවික සම්පත්, බලශක්ති හා විද්‍යා අධිකාරියේ යාපා මහතා එහි ලේකම් ලෙස කටයුතු කළේ ය.

මෙම කමිටුවේ ඉහළ වෘත්තීය ගුණය හා කණ්ඩායම්ගතව වැඩ කිරීමේ විශිෂ්ට හැකියාව නිසා ජාතික පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාව මාස හතරක කාලයක් තුළ සම්පූර්ණ කිරීමට හැකි වූයේය. 1983 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ප්‍රතිපත්තිය, දීර්ඝ කාලයක් ක්‍රියාත්මක විය. අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ක්‍රියාත්මක වූ එකම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය මෙය යි. එය වෙනස් වූයේ 2009 වර්ෂයේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් කෙටුම්පත් කළ ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමත් පසුවයි.

මහාචාර්ය මුණසිංහ අවධාරණය කළේ මුල් පරිගණක ප්‍රතිපත්තිය “පාලනය කිරීමේ” ප්‍රතිපත්තියක් නොවූ බවයි. එහි දී වැඩි අවධානයක් යොමු කරන ලද්දේ සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීම පහසු කිරීම පිළිබඳ වයි. එනම් රටේ සමාජ ආර්ථික සංවර්ධනය වැඩි දියුණු කිරීම හා ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සඳහා පරිගණක තාක්ෂණය යොදා ගැනීමයි. පළමුව රටේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගන්නා ලද අතර ඉන් පසු එම සංවර්ධනය සඳහා තාක්ෂණය යොදා ගත හැකි ආකාරය දක්වන ලදී. ජාතික පරිගණක ප්‍රතිපත්තියේ පොදු දර්ශනය වන්නේ “රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආරම්භක ප්‍රයත්න හා නිර්මාණශීලීත්වය පෝෂණය කිරීමත් මෙම ප්‍රයත්නයන් සම්බන්ධීකරණයෙන්, දිරි ගැන්වීමෙන් හා මග පෙන්වීමෙන් සහාය වීම මිස ඒවා පාලනය හෝ නියාමනය කිරීම නො වීම” යි.

ආපසු හැරී බැලීමේ දී පෙනී යන්නේ මෙය ඉන් අවුරුදු විස්සකට පසු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කළ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතියේ දැක්ම සමග ගැළපෙන බවයි. එහි දැක්ම වූයේ “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ සෑම පුරවැසියෙකුට ම, සෑම ගමකට ම හා සෑම ව්‍යාපාරයකට ම ගෙන යෑමත් රජය සිතන හා වැඩ කරන ආකාරය දියුණු කිරීමත් ය”.

ජාතික පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ (COMPOL) වාර්තාව -අවධාරණය සංවර්ධනය ගැනයි.

ඒ කාලයේ කිසිම රටකට මෙතරම් හොඳින් සකස් කරන ලද පරිගණක ප්‍රතිපත්තියක් නො තිබුණි. රටේ අවශ්‍යතාවන්ට අවධානය යොමු කරන ලද්දේ සංවර්ධන දෘෂ්ටිකෝණයකිනි. සංවර්ධනයට සහාය වීමටත්, ජීවන තත්වය වැඩිදියුණු කිරීම හා තාක්ෂණික යුගයේ අභියෝගවලට මුහුණ දීමත් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී විෂය භාර ඇමතිවරයාට උපදෙස් දීම සඳහා මණ්ඩලයක් හෝ සභාවක් පත් කරන ලෙස මෙයින් යෝජනා කරන ලදී.

තාක්ෂණික කුසලතා දියුණු කිරීම, බලදායී හා පහසුකම් සපයන පරිසරයක් නිර්මාණය කිරීම, මෙම අංශයේ වෘත්තිය ප්‍රමිති ස්ථාපිත කිරීම හා වඩාත් ම දීර්ඝ කාලීන අරමුණ වූ පරිගණක සම්බන්ධ සේවා අපනයනය කිරීම ආදියට මෙහි දී අවධානය යොමු කරන ලදී. අවුරුදු 20 කට පසු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක කළ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන තුළ ද මෙම අරමුණු ඇතුළත් විය.

1984 අංක 10 දරණ පරිගණක හා තොරතුරු තාක්ෂණ පනත හා ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) පිහිටුවීම

ජාතික පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ (COMPOL) වාර්තාව මත පදනම් ව 1984 අංක 10 දරණ පරිගණක හා තොරතුරු තාක්ෂණ පනත පිළියෙල කිරීමට මහාචාර්ය මුණසිංහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහාය විය. මෙම පනත පුළුල් වශයෙන් අවධානය යොමු කළේ ජාතික සංවර්ධනයට සහාය විය හැකි ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ගැනයි. එහි මූලික අරමුණු වූයේ පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට ඇමතිවරයාට උපදෙස් දීම හා තාක්ෂණික යුගයේ අභියෝගයන්ට මුහුණ දීමට අවශ්‍ය හැකියාවන් ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීමට පරිගණක හා තොරතුරු තාක්ෂණය භාවිතයට ගැනීම පහසු කිරීම, දිරිගැන්වීම හා සහාය වීමයි. මහාචාර්ය මුණසිංහ විදුලි සංදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ ද සේවය කළ බැවින් එයින් ලබාගත් අදාළ අදහස් ද මෙයට ඇතුළත් කරන ලදී.

ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) 1984 වර්ෂයේ ස්ථාපිත කරන ලද්දේ පරිගණක හා තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ රජයේ ප්‍රමුඛ ආයතනය ලෙසයි. මෙය ජනාධිපතිවරයාට හෝ විෂය භාර ඇමතිවරයාට උපදෙස් දෙන මණ්ඩලයක් වූ අතර එහි ආරම්භක සභාපති වූයේ මහාචාර්ය මොහාන් මුණසිංහ යි. මෙම මණ්ඩලයට මහාචාර්ය මුණසිංහ විසින් නිර්දේශ කරන ලද අනිත් සාමාජිකයන් වූයේ මහාචාර්ය වී.කේ. සමරනායක, (කොළඹ විශ්ව විද්‍යාලය) ආචාර්ය ආර්. බී. ඒකනායක (ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති), මහාචාර්ය අභය ඉඳුරුව (මොරටුව විශ්ව විද්‍යාලය), ආචාර්ය එන්. ඩබ්ලිව්. එන්. ජයසිරි (ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ජාතික ආයතනය), සී. ගුණසිංහම් මහතා (අතිරේක ලේකම්, ජනාධිපති කාර්යාලය), කේ.කේ ගුණවර්ධන මහතා (විදුලි සංදේශ අධ්‍යක්ෂ), අකිල් මෙහොමඩ් මහතා (ජාතික සැලසුම් අධ්‍යක්ෂ), ජී. කුමාරතුංග මහතා (රේගු කොමසාරිස්) හා මහාචාර්ය ජේ. ගුණවර්ධන යි. (පේරාදෙණිය විශ්ව විද්‍යාලය). මෙම මණ්ඩලයේ ඉහළ වෘත්තීය මට්ටමත් (රජයේ, ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ හා සිවිල් සමාජයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ගෙන් සමන්විත) පුළුල් ආවරණයත් එහි සාර්ථකත්වය තහවුරු කළේ ය.

ආරම්භයේ සිට ම ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) ක්‍රියාත්මක වූයේ ජනාධිපතිතුමා යටතේයි. මේ නිසා රජයේ විවිධ ආයතන පුරා තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාවට (CINTEC) ලැබුණි. සංවර්ධනය වන රටවල් අතර ශ්‍රී ලංකාවට නායකත්වය ගත හැකි ආකාරයට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය පිළියෙල කිරීමේ දී හා ක්‍රියාත්මක කිරීම සඳහා ජයවර්ධන ජනාධිපති තුමා සහාය පැතුවේ මහාචාර්ය මුණසිංහගෙනි. උදාහරණයක් වශයෙන් 1984 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ කළ දේශනයේ දී එතුමා මෙසේ ප්‍රකාශ කර තිබේ. “විද්‍යාව හා තාක්ෂණය සංවර්ධනයේ අවශ්‍ය ම අංගයක් විය යුතුයි. අපි දැන් පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාවක් පිහිටු වීමට කටයුතු කරමින් සිටිමු………. අද දැනුමේ වාහකයා වී ඇත්තේ මයික්‍රොචිපයයි…………… සංවර්ධනය වන ජාතියක පරම අවශ්‍යතාව වන්නේ අනාගතයට ඉක්මනින් ගමන් කිරීමයි….. මෙහි දි වැදගත් වන්නේ කාලයයි. එම කාලය දැන් එළඹ ඇති බැවින් අප එය ග්‍රහණය කර ගත යුතුයි. එහි අනාගත ප්‍රතිලාභීත් වන්නේ තරුණ තරුණියන් වන ඔබයි“

ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාවේ (CINTEC) ලේකම් කාර්යාලය, මණ්ඩලයේ කටයුතුවලට අවශ්‍ය සහාය ලබා දුන්නේ ය. ක්‍රියාකාරී කමිටු ගණනාවක් ස්ථාපිත කරන ලද අතර ඒවා නීතිය හා පරිගණක කමිටුව, දත්ත සන්නිවේදන කමිටුව, රාජ්‍ය අංශය පරිගණකගත කිරීම පිළිබඳ කමිටුව හා අධ්‍යාපන කමිටුව විය. මෙම කමිටු සඳහා සාමාජිකයන් තෝරා ගන්නා ලද්දේ රාජ්‍ය අංශයෙන්, ශාස්ත්‍රීය අංශයෙන් හා පෞද්ගලික අංශයේ විශේෂඥ දැකුම ඇති පුද්ගලයන් අතුරෙනි.

ශාස්ත්‍රීය කටයුතු හා කුසලතා සංවර්ධනය සඳහා මොරටුව, කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාල හා ජාතික කළමනාකරණ ආයතනය ආදි විශිෂ්ට මධ්‍යස්ථාන සමග එක් ව ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) කටයුතු කළේය. මේ කාලයේ ම පිහිටුවන ලද වෘත්තීය ආයතනයක් වූ ශ්‍රී ලංකා පරිගණක සංගමයේ කටයුතුවලට ද ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) සහාය විය. තවද රජයේ ආයතනවලට පරිගණක හඳුන්වා දෙන ස්ථාන ලෙස ක්‍රියා කළ ප්‍රධාන අමාත්‍යාංශවල අදාළ අංශ සමග ද ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) සහයෝගයෙන් කටයුතු කළේ ය. පරිගණක භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සබඳතා බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

1984 වර්ෂයේ ආරම්භ කළ කාලයේ සිටම ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) දියුණුවන රටවලට අනුගමනය කළ හැකි ආදර්ශමත් ආයතනයක් වූයේ ය. දියුණුවන රටක් පරිගණක තුළින් සංවර්ධනයක් ලබා ගැනීම පිළිබඳ හොඳ උදාහරණයක් ද විය. මේ පිළිබඳ ව ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ ලිපි ලේඛන පළ වී තිබේ. විද්‍යාව සම්බන්ධ ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන දෙකක් වූ වොෂින්ටනයේ එක්සත් ජනපද ජාතික විද්‍යා ඇකඩමිය හා තුන්වැනි ලෝක විද්‍යා ඇකඩමිය (TWAS) ශ්‍රී ලංකාවේ මේ අංශයේ සිදුවී ඇති මාර්ග දර්ශී කටයුතු පිළිගැනීමට ලක් කර තිබේ. මෙම ආයතන මුල් කාලයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ගණනාවක් පවත්වමින් හා හවුලේ පොත් පළ කරමින් ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණ සභාව (CINTEC) සමග ඉතා සමීප ව කටයුතු කළෝය. (CINTEC-USNAS, 1985 and CINTEC-TWAS,1989)

අනාගතය

හුදු තාක්ෂණය ක්‍රියාත්මක කිරීම අවසාන අරමුණ නොවිය යුතු බව අවධාරණය කළ මහාචාර්ය මුණසිංහ කියා සිටියේ සංවර්ධන අභියෝගයක් ලෙස එය ආරම්භ කිරීම අවශ්‍ය බවත් ඉන් පසු උචිත තාක්ෂණය තෝරා ගෙන එය භාවිතයට ගත යුතු බවත් ය. ඔහු ප්‍රකාශ කළේ රජය බලදායී කිරීමේ, පහසුකම් සැපයීමේ හා මග පෙන්වීමේ කාර්ය භාරය ඉටු කළ යුතු බවත් නව්‍යකරණයේ හා තාක්ෂණික සංවර්ධනයේ ප්‍රධාන නියමුවා ව්‍යාපාර බවයි. ශාස්ත්‍රීය අංශයේ වගකීම වන්නේ මානව සම්පත් දියුණු කිරීම හා කුසලතා සංවර්ධනයයි. වැඩිදුරටත් මහාචාර්ය මුණසිංහ අවධාරණය කළේ තිරසාර සංවර්ධන ඉලක්ක 9 වන -කර්මාන්ත, නව්‍යකරණය හා යටිතලය-තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් මෙහෙයවන තිරසාර සංවර්ධනයක ප්‍රධාන ගාමික බලය විය හැකි බවයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ පුරෝගාමී වැඩ කටයුතුවලට අමතරව පරිසරය, බලශක්තිය, දේශගුණ විපර්යාස හා තිරසාර සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් හි ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් මහාචාර්ය මුණසිංහට විවිධ සම්මාන ලැබී තිබේ. ඔහු වැඩි දුරටත් කියා සිටියේ අද මිනිස් වර්ගයා මේ ලෝකයේ තිරසාර ධාරිතාවෙන් 1½ ගුණයක් භාවිතයට ගන්නා බවයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන බැවින් මෙම ග්‍රහලෝකය මත ඇති මෙම බර අඩු කළ හැකි බවයි. ජනතාව දුගී බවෙන් මුදවා ගැනීමට ආධාර කිරීමටත්, ධනය වඩා සාධාරණ ලෙස බෙදී යෑම ළඟා කර ගැනීමටත්, තොරතුරු හා ජීවන මාර්ග ලබා දීමටත්, යහපාලනයට පහසුකම් සැලසීමටත්, වගකීම හා පාරදෘශ්‍ය බව වැඩි දියුණු කිරීමටත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට සහාය විය හැකියි. ප්‍රයෝජනවත් තාක්ෂණයක් ලෙස පමණක් නොව සමාජ පරිවර්තන ගෙන ඒමේ හා සංවර්ධනය වඩාත් තිරසාර කළ හැකි ප්‍රධාන බලවේගයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සැලකිය යුතුය.